Showing posts with label විනෝදය. Show all posts
Showing posts with label විනෝදය. Show all posts

Friday, January 10, 2014

ඒ නම් කවර පෙමක්ද?



කල්ප ගණනක් පෙරුම් පිරුවෙමි
නුඹත් සෙවණැල්ලක් මෙනි
දැමුණු සිත බෝධියට නැමුවෙමි
කවුරු නොදනිත් නුඹ දනී
මෙලෙස සරණව යන ලෙසින් අද
පෙරද මා හා එක්විණි
යසස දරණා සෙනෙහබර සිත 
සුවඳ දෙන පියුමක් වැනි

නොබිඳගන්නට මෙතෙක් කල් සිත
සමත් වු නුඹ ස්නේහයෙන්
පුරන්නට මා පාරමී බල
රුකුල් වූ නුඹ ප්‍රේමයෙන්
ලබන්නට ඒ උතුම් බුදු තෙද
හේතුඵල වන අනුහසින්
එතෙරවන්නට නුඹට හැකිවෙයි
කෙලෙස් දම් පිරි ලෝකයෙන්


Saturday, November 30, 2013

නොදැනෙන දැනීම


දිය ඇලි
කෙතරම් සුන්දර වුවද
එය ගලන ගඟට වේදනාවක් විය නොහැකිද?
මල් පොකුර
කෙතරම් ලස්සන වුවද
එය එහි ගසට බරක් විය නොහැකිද?
සිනහව
කෙතරම් අහිංසක වුවද
එය මුවට දැනෙනා විඩාවක් විය නොහැකිද?
කවිය
කෙතරම් මිහිරි වුවද
එය කවියෙකුගේ වේදනාවක් විය නොහැකිද?

Monday, April 15, 2013

"බාලගිරි දෝසේ අද නොවේ ඊයේ"



මේ ලියන්න යන්නේ මම හිතපු දෙයක් නොවේ,මට හිතිච්ච දෙයක්!.හිතෙන හා හිතන යන වචන වල වෙනසක් තියෙනවාද කියල කෙනෙක් ප්‍රශ්න කරන්නත් පුලුවන්.ඉංග්‍රීසියේ නම් එහෙම වෙනසක් නෑ තමා,ඔක්කොටම තියෙන්නේ think නොවැ.හැබැයි සිංහලේ නම් එහෙම නෑ කියා මම හිතනවා.හරි හරි ඕවා පස්සේ කතා කරමු.මම කියන්න ගියේ ටිකක් පිස්සු කතාවක්.බාලගිරි දොසේ ගැන.

ඔය පොඩි ලමයි ඉන්න ගෙවල් වල පොඩි එවුන් නිතරම බෙරිහන් දිදී අඩන කොට අපේ මිනිස්සු ඕක තේරුම් ගන්න හැදුවා ප්‍රවාදයක්.ඒකට තමා ඔය බාලගිරි දෝසේ කියන්නේ.ඔය ළමයි හඩවන බාලගිරි කියල යකින්නක් ඉන්නවලු.ඕකි තම මේ පොඩි එවුන්ට වැහිලා උන්ව අඩවන්නේ.ඉතින් අපේ මිනිස්සු ඔය යක්සනීගෙන් පොඩි එකාව බේරගන්න ඕනේ නිසා පොඩි උප්පරවැට්ටියක් යෙදුවලු.ඒ තමා යකින්නට ගේ ඇතුළට එන්න නොදී  රස්තියාදු කරවන එක.ඉතින් මොකද කළේ ලිව්වා දොරේ "බාලගිරි දෝසේ අද නොවේ හෙට" කියලා.ඕක දැක්කම යකින්න හෙට එන්නම් කියලා ආපහු යනවලු ඊළග දවසේ එන්න.එදාට ආවමත් අර කතාවම තියෙනවා.ඉතින් අර මෝඩ යකින්නට කවදාවත් එන්න හම්බ වෙන්නේ නෑනේ.කොහොමද උප්පරවැට්ටිය.ඔය මන් අහලා තියන කතාව .වෙන කෙනෙක් වෙන කතාවක් අහල තියෙනවා නම් ඒකත් ලියලා යන්න අමතක කරන්න එපා ඕං.

මන් දැන් කියන්න යන්නේ මම ඔය උප්පරවැට්ටියට කරපු පොඩි සංශෝධනයක් ගැන.ඒක හරිම සරළයි.ඔය අපේ ඇත්තෝ දොරේ ලියන කතාවම වචනයක් වෙනස් කොරලා "බාලගිරි දෝසේ අද නොවේ ඊයේ" කියලා වෙනස් කලානම් ඕක අපිටත් හොදයි අර මෝඩ යකින්නටත් හොදයි නොවැ.ඇයි ඉතින් ඕක දැක්කට පස්සේ ඔය ගෑණි අයේ එන එකක් නෑනේ,දෝසේ පහුවෙලානේ,ආ නැද්ද මන් අහන්නේ?

Saturday, January 5, 2013

කියමි දෙයක් තිර ලෙස අද නුඹට මම - ස්වර්ණමාලි ලෙස සෑයට තබමි නම


නෙක විසිතුරු මලින් පිරි
නිති සිසිලන තුරුලි පිරි
සිත් සනසන දැකුම් ඇති
මහමෙව්නා උයන වෙති


ඈතින් පෙනෙන සෑ ථූපාරාම සිරි
මෑතින් පෙනෙන ජය සිරි මහ බෝධි
පෙම් සිත් බැඳුනු ඒ වෙහෙරය ඉසුරුමුණි
සිත් පහදවන බුදු රුව මේ සමාධි


කරවා දැයම එක්සේසත් අප නිරිඳු
නංවා සසුන  ගෝතම සම්බුදු සමිඳු
කරවනු පිණිස අසදිසි මහසෑ නිරිඳු
ගත් අදිටනිනි අප මහරජු දුටු ගැමුණු


පෙර  මිහිදු හිමි සහතික කළ තැනය
පෑතිස් රජුන් සළකුණු කොට ඇත සෙලය
නැත අන් සැකක් මහසෑ ඉදිකරනු මිස
උගහට ඇතිය එහි ඇති මහ තෙළඹු ගස


ඉතින් කෙලෙස සාදනු මේ සෑය තව
කපන් දැමුව යුතු වේ මේ විසල් ගස
නමුත් නිතර බාධා වේ  සොයනු කළ
අරක් ගත්තු දෙවඟනකි මුදුන රුක


රත්නමාලි ලෙස නම් ඇති දෙව් දුවට
දාලා යන්න නොහැකිලු මේ තෙළඹු ගස
ගොසින් දනන් පැමිණිළි කළ මහරජුට
පැමිණ විචාරන්නට නඩු ළඟට ගස


ස්වර්ණමාලි නුඹ දෙවඟන කුමක් කියන්
මම වෙමි සකල ලක්දිවටම නිරින්දන්
කරනු පිනක් වෙනුවෙන් තුන්ලෝක සතන්
නමුත් ඇයිද නුඹගේ මේ මාන කෙරුන්


නිරිඳුනි ඇවිත් මා මෙහි දැන් කලක් වෙමි
විඳිමින් අවට අසිරිය මා දිවි ගෙවමි
සිරි මාබෝධි තව අන් වෙහෙර මම වඳිමි
සිල් ඇති උයන වැනසෙන්නට නොදුන්නෙම්

සිල් ඇති උයන තව රැකුමට නුඹට හැකි
මේ පුදබිමට නුඹ පායපු පුර සඳකි
මතු මහසෑ රඳුන් පිදුමද නුඹට හැකි
බැසයනු මැනවි එය අප කාටත් යෙහෙකි


අවැසි නැතිය අතහැර යන්නට උයන
සාර රුකුන් මෙහිවේ සදනට  විමන
කියමි දෙයක් තිර ලෙස අද නුඹට මම
ස්වර්ණමාලි ලෙස සෑයට තබමි නම


අසා වදන් රජුගෙන් ඈ තුටු වෙන්නී
සිතා වන මෙහෙය සතහට පැහැදෙන්නී
දිනෙක වඳින මහසෑ ගැන සිහිවෙන්නී
කෝළ රැඟුම් අත හැර ඈ නික්මෙන්නී