Monday, April 15, 2013

"බාලගිරි දෝසේ අද නොවේ ඊයේ"



මේ ලියන්න යන්නේ මම හිතපු දෙයක් නොවේ,මට හිතිච්ච දෙයක්!.හිතෙන හා හිතන යන වචන වල වෙනසක් තියෙනවාද කියල කෙනෙක් ප්‍රශ්න කරන්නත් පුලුවන්.ඉංග්‍රීසියේ නම් එහෙම වෙනසක් නෑ තමා,ඔක්කොටම තියෙන්නේ think නොවැ.හැබැයි සිංහලේ නම් එහෙම නෑ කියා මම හිතනවා.හරි හරි ඕවා පස්සේ කතා කරමු.මම කියන්න ගියේ ටිකක් පිස්සු කතාවක්.බාලගිරි දොසේ ගැන.

ඔය පොඩි ලමයි ඉන්න ගෙවල් වල පොඩි එවුන් නිතරම බෙරිහන් දිදී අඩන කොට අපේ මිනිස්සු ඕක තේරුම් ගන්න හැදුවා ප්‍රවාදයක්.ඒකට තමා ඔය බාලගිරි දෝසේ කියන්නේ.ඔය ළමයි හඩවන බාලගිරි කියල යකින්නක් ඉන්නවලු.ඕකි තම මේ පොඩි එවුන්ට වැහිලා උන්ව අඩවන්නේ.ඉතින් අපේ මිනිස්සු ඔය යක්සනීගෙන් පොඩි එකාව බේරගන්න ඕනේ නිසා පොඩි උප්පරවැට්ටියක් යෙදුවලු.ඒ තමා යකින්නට ගේ ඇතුළට එන්න නොදී  රස්තියාදු කරවන එක.ඉතින් මොකද කළේ ලිව්වා දොරේ "බාලගිරි දෝසේ අද නොවේ හෙට" කියලා.ඕක දැක්කම යකින්න හෙට එන්නම් කියලා ආපහු යනවලු ඊළග දවසේ එන්න.එදාට ආවමත් අර කතාවම තියෙනවා.ඉතින් අර මෝඩ යකින්නට කවදාවත් එන්න හම්බ වෙන්නේ නෑනේ.කොහොමද උප්පරවැට්ටිය.ඔය මන් අහලා තියන කතාව .වෙන කෙනෙක් වෙන කතාවක් අහල තියෙනවා නම් ඒකත් ලියලා යන්න අමතක කරන්න එපා ඕං.

මන් දැන් කියන්න යන්නේ මම ඔය උප්පරවැට්ටියට කරපු පොඩි සංශෝධනයක් ගැන.ඒක හරිම සරළයි.ඔය අපේ ඇත්තෝ දොරේ ලියන කතාවම වචනයක් වෙනස් කොරලා "බාලගිරි දෝසේ අද නොවේ ඊයේ" කියලා වෙනස් කලානම් ඕක අපිටත් හොදයි අර මෝඩ යකින්නටත් හොදයි නොවැ.ඇයි ඉතින් ඕක දැක්කට පස්සේ ඔය ගෑණි අයේ එන එකක් නෑනේ,දෝසේ පහුවෙලානේ,ආ නැද්ද මන් අහන්නේ?

සිංහලය හා ජාතික ව්‍යාපාර.


ත්‍රස්ථවාදය දේශපාලනික වශයෙන් පරාජයට පත් කළේ 2009 අවුරුද්දේ.එදා සිට අද දක්වා ගෙවුණු කාලය තුල සිංහලයන්ගේ ජාතිකත්වයේ වර්ධනයක් සිදු වී ඇති බව රහසක් නොවේ.එසේම එම කාලය තුළ නානප්‍රකාර ජාතික ව්‍යාපාර සිංහලයන් වෙනුවෙන් පෙරට එන ලකුණුද ඇත.ප්‍රශ්නය ඇත්තේ මේ ජාතික ව්‍යාපාර අවංක ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින ඒවාද යන වග.පලමුව කිව යුත්තේ අප ජාතිකත්වය යන්නෙන් අදහස් කරන දේ ජාතිවාදයෙන් වෙනස් බව අප විශ්වාස කරමු.සිංහලයන්ගේ ජාතිකත්වය අද ඊයේ ඇති වූවක් නොවේ.එය සිංහලය තරම්ම පැරණිය.එය අඩුම වශයෙන් ගැමුණු රජදවස දක්වාවත් දිවයයි.

නැවතත් අප ජාතික ව්‍යාපාර දෙසට හැරෙමු.ජාතික ව්‍යාපාර ඇරඹීම සිදුවන්නේ මෙරට ඉංග්‍රීසි යටත් විජිත සමයේ සිට බව කීවොත් එහි වැරද්දක් නැත.සිංහලයන්ට තමන්ගේ රට තුළම සිදුවූ අසාධරණයන්ට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය දැනුම හා ශක්තිය සැපවූයේ එකී ජාතික ව්‍යාපාර හරහාය.එදා සිට අද දක්වා තාමත් සිංහලයන් තමන්ගේ උරුමය වෙනුවෙන් සටන් වැදීමට ජාතික ව්‍යාපාර හරහා ප්‍රවේශ වූවද මෙකී ජාතික ව්‍යාපාර බොහොමයක් පෙනී සිටියේ අවංක ජාතිකත්වය වෙනුවෙන් නොවේ.ඒවා බොහොමයක් දේශපාලනික බලවේග මත ක්‍රියාත්මක වී විශේෂයෙන් මැතිවරණ සමයන්හි සිංහලයන්ගේ ඡන්ද කඩා ගැනීමට ජාතිකත්වය විකුණන් කෑවෝය.

බොදුබලසේනා හා සිංහල රාවය යනු මෑත කාලයේ කරලියට පැමිණි තවත් ජාතික ව්‍යාපාරයන් දෙකකි.අද වනවිට මෙරට බොහෝ දෙනෙකුගේ කතාබහකට ලක් වීමට මෙම සංවිධානයන් මෙරට ජනප්‍රිය වී ඇත.බොහෝ උගත් පිරිස් මෙම සංවිධාන ජාතිවාදය පතුරුවන අන්තගාමී සංවිධාන හෝ ආණ්ඩුව වැට්ටවීමට අර අදින කුමන්ත්‍රණකාරී බලවේග විදියට දකිනු ලබයි.එලෙසම මේවා ආණ්ඩුව විසින්ම ඇතිකරනු ලැබූ සංවිධාන බවටද මතයක් වේ.කෙසේ වෙතත් මෙම සංවිධාන මගින් ක්‍රිස්තියානි මූලධර්මවාදයටත්,ඉස්ලාම් අන්තවාදයටත් විරුද්දව පහුගිය සමයේ යම් යම් සාධනීය ක්‍රියාමර්ග ගත් බවට රහසක් නොවේ.කූරගල වැනි බෞද්ධ පුදබිම් නැවත ජනසතු කරගැනීමට හැකි වීම සෑම සිංහල බෞද්ධයෙකුටම අස්වැසිල්ලකි.

එනමුත් බොදුබලසේනාව හෝ සිංහල රාවය වැනි සංවිධාන මෙරට සිංහල බෞද්ධයන්ගේ සැබෑ ප්‍රශ්න හදුනාගත් සංවිධාන බව අප විශ්වාස නොකරමු.මෙසේ කීමට හේතුව වන්නේ පසුගිය කාලපරාසය තුළ මොවුන් විසින් ඇතිකිරීමට උත්සහ කරන්නේ නැති මුස්ලිම් විරෝධයක් ඇතිකර සිංහලයන්ගේ දැවෙන ප්‍රශ්න යටගැසීමටය.මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වීම එකකි.මුස්ලිම්වරුන්ට විරුද්ධ වීම අනෙකකි.හලාල් වලට වඩා දැවෙන ප්‍රශ්නයකි ආසනික්.දින දෙකකට සැරයක් මිනිසුන් තිදෙනෙකු බිලිගන්නා රජරට වකුගඩු රෝගය මෙරට දැවෙන ප්‍රශ්නයක් නොවන්නේ කාටද?දේශපාලනික වශයෙන් පරාජය කළ දෙමළ ජාතිවාදය නෛතික වශයෙන් එනම් 13 වෙනි ව්‍යවස්තා සංශෝධනය අවලංගු කළයුතුය යන්න ජාතික ප්‍රශ්නයක් නොවන්නේද?ඒ සදහාජනමතයක් සකස් කිරීම වැඩකට නැතිදෙයක්ද?ඈත පිටිසර පන්සල් පාලු වීමට ඉඩහැර අසපුගානේ හෝ කොලඹ අවට මහ පන්සල් වලට පමණක් ජනයා එකතු වීම හා නඩත්තු කිරීම දැවෙන ප්‍රශ්නයක් නොවේද?සිංහලයා ගමේ පන්සලෙන් ඈත්වීම එතරම් බරපතල ප්‍රශ්නයක් නොවේද?මේ සියල්ල අමතක කර නෝලිමිට් වර්ජනය කලහොත් සිංහලය රැකේවීද?බුදුසසුන රැකේවිද?

මේ අතර තවත් හාස්‍යජනක දෙයක් පසුගිය සතියේ කොළඹ තුම්මුල්ල හන්දිය අවට සිදුවිය.තමන් උපන් රටේ සුවද නොහදුනන මේ පොළවේ පය නොගහන හෙනම පොෂ් නෝනාවරු ගොඩකුයි පොෂ් මහත්තරු ටිකකුයි ධර්මය රැකගැනීමට ඉටිපන්දම් රැගෙන බොදුබල සේනා මූලස්ථානය අසල රැස්වූහ.ඔවුන්ගේ අරමුණ වූයේ බොදුබලසේනාව තහනම් කිරීමට බලකිරීමදැයි අපි නොදනිමු.කෙසේ වෙතත් ඉටිපන්දම් දල්වා අධිෂ්ඨාන කිරීමේන් හෝ බොදුබලසේනා තහනම් කිරීමේන් හෝ ධර්මය රැකෙන්නේ කෙලෙසදැයි අපි නොදනිමු.ඒ බව අපට ඒ පොෂ් නෝනකෙනෙක් හෝ මහත්තයෙක් කියා දෙන්නේනම් මැනවි.නමුත් බොදුබලසේනාව තහනම් කළයුතු සංවිධානයක් යැයි කීමට තරම් අපි ඉක්මන් නොවෙමු.මක්නිසාදයත් එය මෙරට සිංහලයන්ගේ කෙසේවෙතත් සිංහල බෞද්ධ විරෝධීන්ගේ ඒකායන අරමුණ වන බැවිනි.