Monday, December 16, 2013

ගැහැණු සහ පිරිමි

මෙම ලිපිය ලිවීමටත් සඳහා වන අදහස් ඇති වීමටත්  වස්තු බීජය වූයේ දැනට වසර එකහමාරකට උඩදී මා කියුවූ ගැහැණු ලොව හා පිරිමි ලොව(කතෘ මතක නැත.කෙසේවෙතත් ඔහු මනෝ වෛද්‍යවරයෙකි) නම් පොතයි. ගැහැනිය සහ පිරිමියා වාස්තවික අයුරකින් තේරුම් ගැනීමට පුලුවන් යැයි කවුරුන් හෝ සිතනවා නම් එය මුළාවකි. මක්නිසාදයත් ගැහැණු සහ පිරිමි අතර පමණක් නොව ගැහැණු ගැහැණු අතරද පිරිමි පිරිමි අතරද ඇත්තේ සමානකම් වලට වඩා වෙනස්කම් රාශියකි.එවන් තත්ත්වයක් උඩ ගැහැණිය සහ පිරිමියා යන්නට නිරපේක්ෂක වූ අර්ථකතන ඇතැයි සිතීම උගහටය. නමුත් සියුම්ව නිරීක්ෂණය කරන්නෙකුට ගැහැණිය මෙන්න මේ වගේය පිරිමියා මෙන්න මේ වගේය ලෙස ඔවුනොවුනට ආවේණික වූ ලක්ෂණ ,හැඩතල හඳුනාගැනීම එතරම් අපහසු නැත.

ඉහත පොතෙන් ගැහැණිය සහ පිරිමියා අතර ඇති මූලික වෙනස්කම ලෙස දක්වා තිබුණු දේ ඉතා වැදගත් යැයි සිතමි. ගැහැණිය ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ හැඟීම් සහ දැනීම් සමඟ බවත් පිරිමියා ජීවත් වන්නේ ප්‍රශ්න සහ විසඳුම් සමඟ බවත් එහි සඳහන් විය.ගැහැණිය නිතර තමාගේ හැඟීම් සහ දැනීම් තවත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට කැමතිය. ඇය මානව සම්බන්ධතා අගයයි. මේ නිසාම ඇය නිතරම කතාකරයි.ඇයට නිතරම කතා කිරීමට අවශ්‍යය. එසේ කිරීමෙන් ඇය තමාට දැනෙන මානසික පීඩාවන් වුවද සමනය කරගනියි. නමුත් පිරිමියා මෙයට හාත්පසින්ම වෙනස්ය. ඔහු නිතරම සටන් කරන්නේ ප්‍රශ්න සමඟය. ඔහු නිතරම ඒවාට විසඳුම් සොයා යයි. ඔහු සතුටු වන්නේ විසඳුම සොයා ගැනීමෙනි. විසඳුම් සොයාගැනීම අරමුණ වන නිසාම ඔහු නිතරම කල්පනා කරයි.ඒනිසා ඔහුට තනිව සිටීමට අවශ්‍යය.එසේ තනි වීමෙන් ඔහු ඔහුගේ මානසික පීඩාවන් සමනය කරගනු ලබයි. ගැහැනියටද ප්‍රශ්න ඇතත් ඇය ඒවා පිළිබඳ වද නොවේ. ඇය ඒවාට විසඳුම් සෙවීමේ දැඩි ඇල්මකින් පසු නොවෙයි. ඇය ප්‍රශ්නයක් ඇතිවිට වෙනත් කෙනෙක් සමඟ කතා කරයි නමුත් විසඳුම් බලාපොරොත්තු නොවේ. පිරිමියාටද හැඟීම්,දැනීම් නැතුවා නොවේ.නමුත් ඔහු ඒවා පිළිබඳ වද නොවේ.ඔහුට ඒවා පිළිබඳ දැඩි ඇල්මක් නැත. ඔහුට හැඟිමක් දැනීමක් ඇතිවිට ඔහු නිහඬව සිට එය විඳ දරාගනියි.මෙය ගැහැණිය හා පිරිමියා අතර දැකිය හැකි ඉතා ප්‍රබල වෙනස්කමකි.මෙම වෙනස්කම විවහා ජීවිතයට බලපාන අයුරුද එම පොතේ මැනවින් විග්‍රහ කර ඇතත් මෙම ලිපියෙන් පිළිබඳ කතා කිරීමට උත්සහ නොදරයි.

සොබාදහම විසින් ඇතිකරන ලද මෙම වෙනස මානව සමාජයේ පැවැත්ම උදෙසා රුකුලක් වන බවට සැකයක් නැත.ඔවුන් දෙදෙනා කෙතරම් වෙනස් වුවද මිනිස් පැවැත්මට එය උපයෝගී වන්නේ කෙසේදැයි තේරුම් ගැනීම, ඔවුනොවුන්ගේ වෙනස්කම් වලට ගරුකිරීමට හොඳ අඩිතාලමක් වනවා ඇත. ගැහැණිය හැඟීම් දැනීම් සමඟ ජීවත් වන නිසාම ඇයට අන් අයගේ හැඟීම් දැනීම්ද පිරිමියෙකුට වඩා පහසුවෙන් තේරුම් ගත හැක.සමහරවිට පවුලක දරුවන් වැඩිපුර මවගේ ආදරය,සෙනෙහස පතන්නේ නිසා විය හැක.(පියෙකුට ආදරය,සෙනෙහස නැතැයි මින් නොකියවේ)සමාජයේ වැඩිපුර පිය ගුණ ගීත වලට වඩා මව් ගුණ ගීත ලියැවෙන්නේත් ගැහැනියගේ කැපී වෙනෙන මෙම ලක්ෂණය නිසා විය හැක.එලෙසම ප්‍රශ්න සහ විසඳුම් සමඟ ජීවත් වන පිරිමියා හරහා සමාජයට අවශ්‍යවන දැනුම නිර්මාණය වේ. ඔහු විවිධාකාර අත්දැකීම් හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සහා කරයි. ප්‍රශ්න සහ විසඳුම් විවර කරන්නේ නව දැනුමක්ය. රැකියාවක් කිරීමට වුවද යම් දැනීමක් තිබිය යුතුය. එම දැනීම ඔහු ලබන්නේ අත්දැකීම් හරහාය.අත්දැකීම් මඟින් දැනුම, දැනුම මඟින් රැකියාව නැවතත් රැකියාව මඟින් අත්දැකීම් ලෙස මෙය චක්‍රීයව සිදුවේ. පිරිමියා සිය පවුලටත් වඩා සිය රැකියාවට ඇලුම් කරන්නේ යැයි මතයක්ද තිබෙන්නේ පිරිමියා පවුලක බෙදා ගතයුතු හැඟීම්, දැනීම් වලටත් වඩා ප්‍රශ්න සහ විසඳුම් වලට කාලය කැප කරන නිසාද?.


ගල් යුගයේ සිටි පිරිමියා ජීවන අරගලය වෙනුවෙන් තොරාගන්නේ දඩයමය. නිසා ඔහු නිතර ගවේෂණයේ යෙදේ.ඔහුට එකතැන සිටීමට නොහැක.එකතැන සිටීම ඔහුගේ මෙන්ම පවුලේද පැවැත්මට හානිකරය. එය ඔහුට ප්‍රශ්නයකි. වෙනුවෙන් ඔහු එයට විසඳුමක් සෙව්වේය. විසඳුම දඩයමයි. ගැහැණිය ගල්ගුහාවට වී දරුවන් බලාගෙන සිටියහ. ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවූහ. ඔවුන්ගේ හැඟීම් සහ දැනීම්ද ඇයගේ හැඟිම් සහ දැනීම්ද බෙදාගැනීමට ඇයට අවශ්‍යය. එබැවින් ඇයට නතර වීමට අවශ්‍යය. ඇය ගවේෂණයේ යෙදුනහොත් ඇයට අවශ්‍ය දේ සිදු නොවේ.එබැවින් ඇය ගල්ගුහාවේ විසිණි. ගැහැණිය හැඟීම්,දැනීම් සමඟ ජීවත් වීමත් පිරිමියා ප්‍රශ්න හා විසඳුම් සමඟ ජීවත් වීමත් යන ලක්ෂණයත් සමඟ එකට එන ලක්ෂණයකි ගැහැණිය යම්තැනක නතර වීමත්,පිරිමියා කොහේ හෝ ගමන් කිරීමත්. මෙය අදටත් දැකිය හැක. ගැහැණිය සහජයෙන්ම පිරිමියාට සාපේක්ෂව සන්සුන්ය,තැන්පත්ය. නමුත් පිරිමියා සාපේක්ෂව එසේ නැත. අපි දඩබ්බර කොල්ලෝ ගැන කතා කරන්නේ නිසා විය හැක. කොල්ලෝ රස්තියාදු ගහන්නේත් නිසා දැයි නොදනිමි. කෙසේවෙතත් මෙය තවත් එක් ප්‍රබල ලක්ෂණයකි.එනම් ගැහැණියගේ එක තැන සිටිමේ ස්වභාවයත් පිරිමියාගේ එක තැන නොසිටිමේ ස්වභාවයත්ය.

Monday, December 2, 2013

ආගම,කුලය සහ විවාහය

විවාහය යන්න විවිධ සංස්කෘතීන්හි විවිධ අයුරෙන් සංකල්ප ගත කෙරුණු දෙයක් වන අතර ප්‍රධාන වශයෙන් බටහිර සහ පෙරදිග සංස්කෘති සැළකුවහොත් අපට දැකිය හැකි මූලික වෙනස්කම් කිහිපයක් වේ. ඉතා සරළව විවාහය යන්න ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර සිදුවන නෛතික බැඳීමක් ලෙස අර්ථ දැක්වුවහොත් කිසිවෙකු අමනාප නොවනු ඇතැයි සිතමි.එනම් මෙය දෙදෙනෙකු අතර සිදුවන බැඳීමකි. නමුත් විවාහය හුදෙක් දෙදෙනෙකු අතර සිදුවන බැඳීමක් ලෙස විශ්ව සාධාරණ අර්ථ දැක්වීමක් දීම කෙතරම් වලංගුද? පෞද්ගලිකත්වය හා වෙන්කිරීම ප්‍රධාන ලක්ෂණ වන බටහිර සංස්කෘතිය තුළ දරුවන් වැඩිවියට පත් වූ පසු දෙමව්පියන්ගෙන් වෙන් වීමත් පසුව ඔවුන් ඔවුනට රිසි සේ ස්වාධීනව තීරණ ගැනීමත් යන්න ඉතාම සුලබ දෙයකි.එවන් වූ පසුබිමක් තුළ විවාහය යන්න දෙදෙනෙකු අතර සිදුවන විවාහයක් ලෙස ගැනීම පුදුම විය යුතු දෙයක් නොවේ. නමුත් පෞද්ගලිකත්වය මෙන්ම සාමුහිකත්වයද අගයන එකක් එකිනෙක බැඳී පවතින බොහෝ පෙරදිග සංස්කෘතීන් තුළ විවාහය යන්නට ඉහත අර්ථ කථනය දීම ප්‍රමාණවත් නැත.පෙරදිග සංස්කෘතීන් වල විවාහය යනු හුදෙක් දෙදෙනෙකු අතර සිදුවන විවාහයක් නොව පවුල් දෙකක් අතර සිදුවන විවාහයක් බව වරෙක මහචාර්ය නලින් ද සිල්වා පවසා ඇති බව මට මතකය.එහිදී දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වීමක් නොවන අතර විවාහ වූ පසුවද දෙමව්පියන් සිය දරුවන් සමඟ ජීවත්වනු දැකිය හැක.නමුත් දරුවන්ට පෞද්ගලික වු විවාහ ජීවිතයක් නැතුවාද නොවේ. මෙකී ලක්ෂණ හේතු කොටගෙන දෙමව්පියන් වුවද සිය දරුවගේ අනාගත සහකරුවා හෝ සහකාරිය පිළිබඳ යම් සැළකිල්ලක් දක්වනු ලැබේ. එබැවින් දරුවන්ගේ විවාහයට හුදෙක් දරුවන්ගේ ආකල්ප වලට අමතරව දෙමව්පියන්ගේ ආකල්පද යම් බලපෑමක් කරනු ලබයි. මෙය පැහැදිලිවම සංස්කෘතික ලක්ෂණයක් වන අතර කෙනෙකු  එය බටහිර සංස්කෘතියට සාපේක්ෂව පෙරදිග සංස්කෘතීන් වල පසුගාමී හෝ අයහපත් ලක්ෂණයක් ලෙස හුවා දැක්වීමට යාම මෝඩකමකි.

ආගම සහ කුලය යන්නද විශේෂයෙන් පෙරදිගයන් අතර පවතින්නා වූ ,විවාහය යන කාරණාවට අදාළ කරගන්නා දේවල් වේ.අප රටෙහිද මෙය අඩු වැඩි වශයෙන් බොහෝදෙනා අතර දැකිය හැකි සුලබ කාරණවක් වේ. ඒ වගේම විවිධ පුද්ගලයන් අතර මේ පිළිබඳ විවිධ වූ විවේචනද දැකිය හැක.කෙනෙකු ආගම විවාහයට බලපෑමක් කිරීම අනුමත කළද කුලය විවාහයට බලපෑම් කිරීම අනුමත නොකරයි. තවත් කෙනෙක් ආගම මෙන්ම කුලයද විවාහය සඳහා අදාළ කරගනියි. නමුත් මා දන්නා ආකාරයට සමහරෙක් ඉහත පළමු පිරිසට වඩා දෙවන පිරිස කෙරෙහි අවඥා සහගත ආකල්පයක් දරණු ලැබේ. අද පුවත්පත් වල පළවන මංගල යෝජනා වලද කුලය යන්න අඩුවක් නැතුව සඳහන් කරනු දැකිය හැක.මා පෞද්ගලිකව මෙයට විරුද්ධ නැත්තේ අතීතයේ සිටම අප අතර කුල ක්‍රමයක් පැවතී ඇති බැවිනි. නමුත් එයින් අදහස් කරන්නේ මා කුලභේදයක් අනුමත කරන බව නොවේ.අද අප අතර කුලභේදයක් සුළුවෙන් හෝ පවතීනම් එය ඇතිවුණේ මහනුවර යුගයේ එනම් ඉංග්‍රීසි පාලන සමයේ බව අමතක නොකළ යුතුය. කුල ක්‍රමය යනු අතීතයේ සිට සිංහලයන් සිය රාජකාරී කටයුතු පාරම්පරිකව පවත්වාගෙන ආ ක්‍රමයක් වන අතර ඒ තුළ ඉන්දියානු කුළ පීඩනය වැනි දෙයක් දක්නට තිබුණේ නැත. නමුත් විවාහය වැනි කාරණා වලදී සිංහලයන් බොහෝදුරට කුලය යන්න යොදාගත්තේ හුදෙක් කුල ගෝත්‍රික අදහසකින් නොව පෘතග්ජන කාටත් පොදු "නම්බුව" යන මානසික ආකල්පය මත යැයි සිතිය හැක. මෙහි වැරද්දක් නැතැයි මා පවසන්නේ කෙනෙක් ආගම යන්න විවාහයට අදාළ කරගන්නේ කවර ප්‍රමාණයකින්ද ඒ හා ප්‍රමාණයකින්ම තවත් අයෙකුට කුලය යන්නද විවාහයට අදාළ කරගැනීමේ අයිතියක් ඇති බැවිනි. විශේෂයෙන් සමහර දේවවාදී අදහස් දරණ ඇත්තන් බොහෝවිට තම ආගමික අදහස් විවාහය කෙරෙහි ඉතා ඉහළින් අනුගමනය කරන අතරම කුලය යන්න විවාහයට අදාළකරගන්නා කෙනෙකු කෙරෙහි අවඥා සහගතව බලයි.මෙවැනි බොහෝදෙනෙකුට අමතක වන කරුණක් වන්නේ ආගම මෙන්ම කුලයද මිනිසාගේම නිර්මාණ වන බවය. එවැනි තත්වයක් මත ආගම යන්න විවාහයට තීරණාත්මක දෙයක් ලෙස සළකන කෙනෙකු කුලය යන්න විවාහයට තීරණාත්මක දෙයක් ලෙස සළකන කෙනෙකුට වඩා උසස් වන්නේ කෙසේද?

මෙය වටහාගත් සිංහලයන් බොහෝදෙනෙක් මෙරට සිටින බව ඇත්තකි.නමුත් සමහර උගතුන් පවා මෙය තේරුම් ගන්නේ බටහිර සංස්කෘතියට සාපේක්ෂව මේ දෙස බැලීමෙනි.මෙහිදී කිවයුතු වැදගත් දේ වන්නේ ආගමේ නමයෙන් හෝ කුලයේ නාමයෙන් හෝ සමාජයේ පීඩනයක් ඇතිකිරීම පැහැදිලිවම හෙළා දැකිය යුතු බවය. නමුත් පුද්ගල ආකල්ප මත තීරණය වන විවාහය වැනි දෙයකට ආගම, කුලය යන්න යොදාගැනීම ප්‍රශ්නයක් නොවේ. කෙනෙකු ආගම සහ කුලය යන දෙකම විවාහය සඳහා බැහැර කරන්නේනම් එයද ඒ පුද්ගලයාගේ තවත් ආකල්පයක් පමණක්ම වේ.ඒ හැර ඔහු/ඇය අනෙකාට වඩා උසස් කෙනෙකු ලෙස සිතාගැනීමට තරම් එය නිර්ණායකයක් වන්නේ නැත. වර්තමානයෙ බොහෝ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් ආගමික හා කුල අදහස් නොසළකනවා විය හැක.නමුත් ඔවුන්ට සිය දෙමව්පියන්ගෙන් ස්වායක්ත විය නොහැක.පෙර කී පරිදි අප වැනි රටවල විවාහය යනු පවුල් දෙකක අතර සිදුවන්නකි,.එවිට දෙමව්පියන්ගේ ආකල්පද විවාහයට එකතු වේ. අදටත් මෙරට වැඩිහිටියන්ගේන් බොහෝදෙනා ආගම සහ කුලය සැලකිල්ලට ගනු ලැබේ.මේ අපේ සංස්කෘතියයි.මෙය කිසිසේත්ම බටහිර සංස්කෘතිය සමඟ සැසඳීමට තරම් දෙයක්වත් බටහිර සංස්කෘතිය අප සංස්කෘතියට වඩා උසස් ‍යැයි කීමට තරම් දෙයක්වත් නොවේ.

සාරාංශයක් ලෙස මා මෙහිදී කීමට තැත් කළේ කෙනෙකු  පීඩනයකට ලක්නොවනතාක්  විවාහය යන කාරණාවේදී ආගම කුලයට වඩා සුවිශේෂි නොවන්නාසේම ආගම්,කුල නොසළකා හැරීම එසේ සැලකීමට වඩා සුවිශේෂී වන්නේද නැත.එය හුදෙක් සංස්කෘතික වෙනසකි.


Saturday, November 30, 2013

නොදැනෙන දැනීම


දිය ඇලි
කෙතරම් සුන්දර වුවද
එය ගලන ගඟට වේදනාවක් විය නොහැකිද?
මල් පොකුර
කෙතරම් ලස්සන වුවද
එය එහි ගසට බරක් විය නොහැකිද?
සිනහව
කෙතරම් අහිංසක වුවද
එය මුවට දැනෙනා විඩාවක් විය නොහැකිද?
කවිය
කෙතරම් මිහිරි වුවද
එය කවියෙකුගේ වේදනාවක් විය නොහැකිද?

Monday, October 14, 2013

භෞතිකවාදීන්ට ප්‍රශ්නයක්...


භෞතිකවාදීන් එදා මෙදා කී කතා අධ්‍යයනය කරන කල්හි  ප්‍රධාන වශයෙන් ඔවුන් කොටස් දෙකකට වර්ග කළ හැකිය.එක් කොටසක් වන්නේ සෘජුවම මනසින් (හෝ පරිකල්පනයකින්) තොරවම ලෝකයක් පවතින බව(මොවුන්ට එය සනාථ කිරීමට නොහැකිකම වෙනම කතාවකිප්‍රකාශ කරන භෞතිකවාදීන්ය. අනෙක් පිරිස වන්නේ මනසින්(හෝ පරිකල්පනයෙන්) තොරව ලෝකයක් පවතින බව හෝ නොපවතින බව නිශ්චිතව  ප්‍රකාශ කළ නොහැකි බව පවසන පිරිසය.වෙනත් විදියකින් කිවහොත් ඔවුන් පවසන්නේ මනසින් තොරව ලෝකයක පැවැත්මක් අර්ථ දැක්විය නොහැකි බවය.මොවුන් එක අතකට කරන්නේ මනසින් තොරව ලෝකයක් පවතින බව කෙළින්ම නොකියා එසේ ලෝකයක් නොපවතින බව කීමට නොහැක කියා ෂේප් වීමය.එක අතකට මෙම පිරිස ඉහත පළමු පිරිසට වඩා කපටිය.

කෙසේ වෙතත් ඉහත දෙවන පිරිස වුවද මනසින් තොරව පවතින ලොවක් විශ්වාස නොකරනවා නොව. එසේත් නැතහොත් ඔවුන් කිසිවිටකත් මනසින් තොරව ලොවක් නැත යන බව පිළිගන්නා පිරිසක් නොව.එබැවින් ඔවුන්ද භෞතිකවාදීන් ලෙස නම් කිරීම යුක්ති සහගතය.
අපගේ  ප්‍රශ්නය යොමු වන්නේ මූලික වශයෙන් මෙම ෂේප්  න්‍යාය අනුගමනය කරන ඉහත දෙවන පිරිසට වේ.නමුත්  ප්‍රශ්නයට පෙර යම්කිසි පැහැදිලි කරගැනීමක් කළ යුතුව ඇත.අප පංචේන්ද්රියයන්ගෙන් ලබාගන්නා සියලුම සංජානන සංකල්ප ලෙස තනාගන්නේ මනස විසින්ය.භෞතිකවාදීන් මෙය මනස ලෙස පවසනවාට අකමැති විය හැක.මොවුන් එය පවසනු ඇත්තේ මොළයේ සිදුවන භෞතික හා රසායනික  ක්‍රියාවන්ගේ  ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පරිකල්පනයක් ලෙසය. කෙසේ වෙතත් මනස වේවා පරිකල්පනය වේවා අවසානයේ අපහට යම් "දැනීමක්" ඇති වේ. එනම් මනසින් තොරව දැනීමක් හට නොගැනේ.මෙහිදී තවත්  ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත.එනම් මනස යන්න දැනෙන්නේ කුමකටද යන්නය. එයට දියහැකි හොඳම පිළිතුර වන්නේ මනස යන්නද දැනෙන්නේ මනසටම යන්නය.මෙහිදී කිව යුතු තවත් වැදගත් දෙයක් ඇත.එනම් අපහට දැනෙන්නේ හුදෙක් පංචේන්ද්රියයන්ගෙන් ලබාගන්නා අරමුණු පමණක් නොවන අතර මනස විසින්ම ඇතිකරන දැනීම්ද වේ.උදාහරණයක් ලෙස කාලය ගතහොත් එය අපගේ පංචේන්ද්රියන්ට නතු නොවන නමුත් මනස විසින් ඇතිකර ගනු ලබන දැනීමක් වේ.

දැන් අප විසින් භෞතිකවාදීන් වෙත නඟන  ප්‍රශ්නය මෙයයි.මනසින්(හෝ පරිකල්පනයෙන්) තොරව/පිට ලෝකයක් අර්ථ දැක්විය නොහැකි බව දැනගන්නේ කව්ද යන්නය.මනසින් තොරව ලෝකයක් ඇතත් නැතත්,අර්ථ දැක්විය හැකිවුවද නොහැකි වුවද එසේ දැනීමක් ඇතිකරගනු/ඇතිකරනු ලබන්නේ කව්ද යන්නය.අපටනම් දිය හැකි සරළම පිළිතුර වන්නේ එසේ දැනගනු ලබන්නේද මනස විසින්ම බවය. එසේ නම් මනසින් තොරව/පිට ලොවක් තබා එවැනි දෙයක් අර්ථ දැක්වීම ගැනද කතාකිරීම විහිළුවකි. මක්නිසාදයත් අර්ථ දැක්ව්මට හැකිනම් එසේ කරන්නේද,අර්ථ දැක්විය නොහැකිනම් එසේ නොකළ හැකි බව දැනගන්නේද මනස හෝ පරිකල්පනය විසින්මය.එබැවින් මනසින් තොරව පවතින ඊනියා පැවැත්මක් ගැන නිශ්චිත සඳහනක් කළ නොහැකි බව යන්නට වඩා එසේ ඊනියා පැවැත්මක නැතැයි යන්න වඩාත් ශක්තිමත් ස්ථාවරයකි.

භෞතිකවාදීන් මෙහිදි වරද්දා ගන්න තැනක් වේ.එනම් ඔවුන් මනසින් පිටස්තර ලෝකයක් අර්ථ දැක්වීමට නොහැකි යන්න ගැන කතා කිරීමට පෙරම "මනසින් පිට" යන්න අදහස ගොඩනඟා ගෙන ඇත.වෙනත් වචනයකින් කිවහොත් මනසින් පිට නැතහොත් මනසට සීමාවක් ඔවුන් විසින් උපකල්පනය කරගෙන ඇත.ඔවුන්ට අමතක වන කරුණ වන්නේ මෙසේ උපකල්පනයක් කරගෙන ඇත්තේද නිරායාසයෙන්ම මනස විසින්ම බවය.එසේ තනාගත් උපකල්පනය මත පදනම්ව ඔවුන් ඊළඟට බලන්නේ එසේ "මනසින් පිට යමක්" ඇතිද,නැතිද නැතහොත් නිශ්චිතව කිව නොහැකිද යන්නය.මෙහිදී කිවයුතු වැදගත් දේ වන්නේ මනසින් පිට හා මනසින් පිට යමක් යන්න අදහස් දෙකක් බවය.දෙවැන්න පදනම් වන්නේ පළමු අදහස මතය.පළමු අදහසින් කියැවෙන්නේ මනසට අදාළව ඇති සීමාවක් වන අතර දෙවැන්නෙන් කියැවෙන්නේ එම සීමාවෙන් පිට වූ යමක් ගැනය.පැහැදිලිවම මේ එකක් නොව දෙකකි.භෞතිකවාදීන් මුළාවන්නේ මෙතැනදීය.ඔවුන් මනස විසින්ම ඇතිකරගත් මනසින් පිට යන උපකල්පනය මත පිහිටා පසුව එම සීමාවෙන් පිට වූ ලෝකය ඇතැයි හෝ නැතැයි හෝ නිශ්චිතවම කිව නොහැකි යැයි නැතිනම් අර්ථ දැක්විය නොහැකි යැයි කියා පඹගාලක පැටලෙයි.සියලු දැනීම් හටගන්නේ මනසේ නම් එම මනසින් පිට වූ දැනීමක් ගැන කතා කළ හැක්කේ කෙසේද?මනසක් සහිත සත්ත්වයා සියල්ල නතු කරගන්නේ මනසින්මය.එනම් සියල්ල මනස වේ.කොටින්ම මනස පවා නිර්මාණය වන්නේ මනසේමය. මනසින් තොරව ලෝකයක් පැවතිය හැක යන්න  භෞතිකවාදීගේ එක් හිතළුවක්ම පමණි.