Friday, October 10, 2014

මේ ලොවට ඔබ ආදරේ නම් -මුලු ලොවම ඔබටත් ආදරෙයි (ගීතයක කතාවක්)

සමාජයක් හැමවිටම කළුයි කියා හිතනවා නම් එය වැරදිය,එසේම එය හැමවිටම සුදුයි කියා හිතනවා නම් එයද වැරදිය.මෙහිදී කළු හා සුදු යන්න හොඳ හා නරක යන්න හැඟවීමට භාවිතා කළද එය එතරම් සුදුසු නොවේ යැයි වෙලාවකට සිතේ.කෙසේ වෙතත් සමාජය ඉතාම නරක තැනක්ය එයට නිරාවරණය නොවිය යුතුය කියා සිතන කෙනෙකුට විශේෂයෙන් දූවරුන්ට, එසේ නොවී සමාජයේ ඇති හොඳ දේ දකින්නට යහපත් දේ ලබාගන්නට කියා පියෙක් විසින් ඇරයුම් කරන ගීතයකි රත්න ශ්‍රී විසින් ලියන ලද මෙම ගීතය.



මගේ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි

ඇය විසින්ම කොටු වී සිටින කුටුම්භයෙන් එළියට ඇවිදින් මේ සමාජය නම් රැයෙහි මිහිරිම දේවල් විඳගන්නට ඇයට හැකි බව ගීතයේ මුල් කොටසින් කියවේ.නමුත් එක් කොන්දේසියක් මත-එනම් ඇය නිසි සිහි බුද්ධියෙන් සිටිනවා නම් (ඔබ අවදියෙන් නම්).

සේපාලිකා මල් පිපෙන්නේ රාත්‍රියටය. නිලට බැබළෙන තාරකා ඇත්තේද රාත්‍රියෙහිය.රාත්‍රිය කෙතරම් කළුවර වුවද සේපාලිකා මල් පිපෙන විට නිල් තාරකාවන් පායන කළ එය සුන්දර මොහොතකි.සමාජයද එසේය,එය කුරිරු විය හැක,නමුත් එහිද වඩාත් සුන්දර දේවල් තිබෙනවා නොඅනුමානය.නමුත් ඇය කුටුම්භයට වී කොටු වී සිටියහොත් ඇයට මේ කිසිවක් දැක ගත නොහැකිවනු ඇත.ඇය අවදියෙන් සමාජයට අවතීර්ණ වන කළ මේ ලොව එතරම් දරුණු නොවන බව ඇය තේරුම් ගන්නවා ඇත.එවිට එය සිහි වී ඇයට තනියම සිනා යෑමටද ඉඩ තිබේ-මක් නිසාදයත් තමන් මෙතුවක් කල් මුණ නොගැසුණේ හිතන තරම් කළු නොවන යකෙකු බව අවබෝධ වී.

සේපාලික මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

සොබාදහමේම කොටසක් වන මිනිසා එවන් සොබදහමේම සම්පත් භුක්ති විඳීම වරදක් නොවේ.එය සොබාදහම විසින්ම අපට උරුම කර දුන් දෙයකි.නමුත් එසේ නොවී ලෝකයෙන් සමාජයෙන් මුළු ගැන්වී සිටියහොත්-එනම් ඝන කළුවරට පෙම් කළොත්, පෙර කී සොබාදහමේ දායදයන් වල ඵලය කිම?අප ඒවාට ණය නොවේද?මිනිසුන් වශයෙන් අප ලෝකය තුළ ඉපිද ලෝකය තුළ හැදී වැඩී ලෝකය තුළම නැසෙන නිසා ලෝකයත් සමඟ අවබෝධයෙන් ජීවත් වීම ඉතා වැදගත්ය.මේ පොළව තුළ පය ගසා ජීවත් විය යුතුය. මිනිසුන් ඇසුරු කළ යුතුය,සමාජශීලි විය යුතුය.එනම් ජීවත් වීමට උගත යුතුය. එලෙසම එක දෙයක් අමතක නොකළ යුතුය.එනම් ලෝකය විසින් අපට දායද කර දුන් කිසිවක් අපගේ නොවන බවත් හුදෙක් අප ඒවා භුක්ති විඳ නැවත අප එය ලොවට බාර කළ යුතු බවත් ඇය දැන ගත යුතුය.මේ අන් කිසිවක් නොව,ලෝකයෙහි සමාජයෙහි පය ගසා ජීවත් වන විට අප විසින්ම ඇති කර ගත යුතු මානව දයාවයි. පරාර්ථයයි.ඔබ එසේ වන කළ ලෝකයද එසේ වනු ඇත.


ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට අප ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට 
හෙට ලොවට පෙරළා දිය යුතුයි
මේ ලොවට ඔබ ආදරේ නම් 
මුලු ලොවම ඔබටත් ආදරෙයි

සිංදුව අහන්න:


Monday, September 29, 2014

වැස්ස වළාහක දෙවියනි!





ඉරෙන් පොළව ගිනි ලා ගෙන ඇති   කළට
 
විරෙන් බලෙන් අප මේ දිවි රැක       ගන්ට

වැරෙන් ගත්තේ මේ බර කඳ හිස     මතට

වරෙන් දුවේ අරෙගෙන ඔය පියන්      කට

Wednesday, September 10, 2014

එක් කවි කතාවක්....



ඔබේ කවිය සොරාගත්තේ ඇයිද    සොයන්න
තැවුල් සිතක් මවෙත කිසිත් ඇති නොමවන්න
තුරුණු හදක මැවුණු සෙනේ දැන  ලැබගන්න
මගේ කවිය මඳක් නතර වෙලා         බලන්න 

දහස් නුවන් - රහස් වෙසින් බලා      සිටින  සඳ
සෙමින් ඇවිත් මගේ නෙතට කතා      කරනවද?
රැයේ අලුත් සිහින තුළට           හදිස්සියේ වැද
මටත් හොරෙන් ලැගුම් අරන් ඉන්නෙත් ඔබමද?

සෙමින් ඇවිත් ඔබේ නෙතට කතා කරන විට
දෙනෙත් ඔබේ මා මඟහැර පලා         යාවිද?
රැයේ සිහින තුළට වැදී ලැඟුම්         ගත්තට
තරහා නොවී මට සමාව දෙන්න    ඇහැකිද?

Saturday, September 6, 2014

කවියක් නොවේ














රසයක් සොයන කුසකි
සොයමින් අහරක ඇති මියුරු ඉම
අහරක් සොයන කුසකි
අසමින් රසයක ඇති ඵලය කිම



Tuesday, August 5, 2014

අලුත් සඳක් හෙට යළි පායාවි


අද සඳ අඩුවෙන් දිලෙන්නේ මන්දැයි
තරු පෑයූ රැය වෙනදා වගේමයි
පවනත් අලසව තුරු සනසා යයි
වැව් දිය නිසලව තනියම හැසිරෙයි

වැව් දිය පවනට කතා කරන්නේ
සඳ විරසක  කිමදැයි විමසන්නේ
පවනත් සිය මුනිවත රැකගන්නේ
මේ රැය ඒ ලෙස කල් පසුවන්නේ

හිරු ඇවිදින් තව දිනක් සදාවි
සුපුරුද ලෙස රැය සිත්තම් වේවි
අලුත් සඳක් හෙට යළි පායාවි
වැව් දිය රළ නගමින් දඟලාවි


Sunday, June 22, 2014

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ....


අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ....

මල් මිටක් ගෙනත් කාහට පිළිගන්නේ...
මල් සුවඳ පමණි අද මා සිත පුබුදන්නේ...
කවි ලියා තබන්නේ ඇයිදැයි සිහිවන්නේ...
කවි ලියා තබා මා සහනය ලැබගන්නේ...

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ...

වැහි වළාකුලක්විත් කුමටද ගොරවන්නේ...
වැසි වැටුණා කියා නැත මා සිත තෙත්වන්නේ...
ඔබ නොකී වදන් ගැන තවමත් ලතැවෙන්නේ...
ඔබ කියූ වදන් ගැන නෑ හද වෙහෙසෙන්නේ...

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ...//

Saturday, May 17, 2014

එය එසේම එසේම වී-එච්චර කලකි

තුන් මාසයකට පසු.......................

විවිද සෙලවෙන ඇලීම් බැඳීම් අතර
සවි කරගත්
ප්‍රථම ඇලීම
ප්‍රථම බැඳීම
හෙළි කළ මොහොතේම
අකුණු පහරක් වැදී
ක්ෂණයකින් නැති වී
අතුරුදහන් වන්නේ යම් සේද
වෙරළෙ ඇඳී රුවක්
රළ පෙළට හසු වී
මැකී යන්නේ යම් සේද
විරියෙන් දැල්වූ
පහන් සිලක්
සැනින් හැමූ සුලං රැල්ලට හසු වී
නිවී යන්නේ යම් සේද
එය එසේම එසේම වී
එච්චර කලකි

.............................මට සිහි විය.



Wednesday, February 19, 2014

සොවින් සැඟවුණු මිහිරි පද රැස - උරුම කවි සිත් සනස ගන්නට



තෙදැති හිරුවත ගුවන නැගෙනුයේ
ලොවට එළියක් වන්න පමණද
නැගෙන හිරු හෝ බැසෙන හිරු දෙස
බලන නෙත් සිත් සනහලන්නට

දිලෙන සොමිසඳ ගුවන නැගෙනුයේ
රැයට සිසිලක් වන්න පමණද
හිරුට නොම වන සඳට ඇති රස
සොයන පෙම් සිත් පුබුදුවන්නට

සුවඳ දෙන මල් ගසක පිපිනුයේ
නෙතට මිහිරක් වන්න පමණද
රසැති රොන් පිරි එවන් මල් දෙස
ඇදෙන බිඟු සිත් මත් කරන්නට

ලියන පද වැල් සිතට පැමිණියේ
ඔබට රසයක් වන්න පමණද
සොවින් සැඟවුණු මිහිරි පද රැස
උරුම කවි සිත් සනස ගන්නට

Saturday, February 8, 2014


මල්
බඹරුන් දනිති
රොන් බී වයන්නට
මිනිසුන් දනිති
පුදසුන මත පුදන්නට
එනමුත් මල්
දන්නා දෙයක් නැත
පිපෙන්නට
පරවෙන්නට මිස

Friday, January 10, 2014

ඒ නම් කවර පෙමක්ද?



කල්ප ගණනක් පෙරුම් පිරුවෙමි
නුඹත් සෙවණැල්ලක් මෙනි
දැමුණු සිත බෝධියට නැමුවෙමි
කවුරු නොදනිත් නුඹ දනී
මෙලෙස සරණව යන ලෙසින් අද
පෙරද මා හා එක්විණි
යසස දරණා සෙනෙහබර සිත 
සුවඳ දෙන පියුමක් වැනි

නොබිඳගන්නට මෙතෙක් කල් සිත
සමත් වු නුඹ ස්නේහයෙන්
පුරන්නට මා පාරමී බල
රුකුල් වූ නුඹ ප්‍රේමයෙන්
ලබන්නට ඒ උතුම් බුදු තෙද
හේතුඵල වන අනුහසින්
එතෙරවන්නට නුඹට හැකිවෙයි
කෙලෙස් දම් පිරි ලෝකයෙන්