Tuesday, April 12, 2016

සඳ හා තනිව



කවුළුවක් අසළට වී බලන සඳයි කවුළුවෙන් ඈත්ව සිටින මොහොතක කවුළු මානෙන් පෙනෙන සඳයි ඇති කරන මිහිර එකක් වූවද ඒ හා බැඳුණු සංවේදනාවන් වෙනස් විය හැක.

කවුළු දොරකඩ
බලන රන් සඳ
මිහිරි හැඟුමන් මත්කළා

ගගන තලයට
උරුම වූ වතේ
කිරණ කුටියට දිස්වෙලා

සිතෙහි හැඟුමන්
තැවුල් දුන් සඳ
කවුළුවෙන් පසෙකට වුණා

ඉඳලා හිටලා
තවම ඒ වත
කවුළු මානෙන් දිස්වෙනා

මිහිර එලෙසම පවතිනා සඳ
තැවුල් සංකා පහව ගිය සොඳ


Sunday, November 8, 2015

හිතට වැදෙන ගීයක්

ඉන්දීවරී මල නුඹයි 
පෙම් ගී ගැයූ බඹරිඳු මමයි

සත් පියුම් විල
නෙත් පියුම් හැර
නුඹ වෙතම පෑ තුඹුල සනහස
නුඹ වෙතම කී බඹර ගී සර
අසනු මැළි වූ
ඒ මල නුඹයි
බඹරිඳු මමයි

මත් බිඟුම් කැළ
පෑ රැඟුම් දැක
මා වෙතම පෑ තුඹුල සනහස
මා වෙතම කී බඹර ගී සර
අසනු මැළි වූ
ඒ මල මමයි
බඹරිඳු නුඹයි


Monday, September 21, 2015

මට මෙය නොලියා බැරිය

මේ ඇය ගැනයි.ඇය කවුරුදැයි මා හරිහැටි නොදනී.නමුත් මා ඇයව නොදන්නවාද නොවේ.බැලූ බැල්මට එය ප්‍රේහෙලිකාවක් නොවේදැයි කෙනෙකුට සිතිය හැක.කතාවේ පහසුව උදෙසා මා ඇයට වත්සලා යැයි පවසන්නම්.නමුත් ඇගේ නම වත්සලා නොවේ.ඇගේ සත්‍ය නම මට මේ මොහොතේ හෙළි කළ නොහැක.දැනට වසරකට පමණ පෙරාතුව හදිසියේ සිතට වැදුණු යම් හැඟීම් මාත්‍රයක් මත කෙමෙන් කෙමෙන් වර්ධනය වූද මොහොතින් මොහොත ආවර්ජනය කරගත්තාවූද  සිතුවිලි ලෝකය දැන් නිශ්චිත තැනකට පැමිණ ඇත.ඒ මා ඇයට ප්‍රේම කරන බවද?
"කෙනෙක් ප්‍රේමයට සුදුසු වනතාක් ප්‍රේමය ඔහුට හමු නොවේ.නමුත් ඔහු ප්‍රේමයට සුදුසු වූ පසු ප්‍රේමය ඔහුව සොයාගෙන එයි.අවදි වෙයි.ගත සිත කළඹවයි" මේ ප්‍රසිද්ධ කියමනට අනුව මා දැන් ප්‍රේමයට සුදුසුද?මගේ ගත සිත අවදියෙන්ද?මා දැන් මෙය ලියන්නේ ඇයි?මා තනිව මගෙන්ම විමසයි.

කිසිදිනක මූණට මූණ හමුනොවුණු, සිනා සී නැති,එකදු වචනයක්වත් කතා කර නැති ඇය කෙරෙහි මට ප්‍රේමයක් හට ගත හැකිද?
මගේ සිත ඇදී යයි අතීතයකට.ඒ 2007 වර්ෂයයි.පාසලේ උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් වී ඇති වකවානුවකි.ප්‍රතිඵල ලැබී සොම්නසින් වැජබෙන හා දොම්නසින් ලතැවෙන  සිසුන් අතර තව වසරක් ඇතුළත උසස් පෙළ ලිවීමට සිටින මන් ගැනද යම් යම් අනාගත චිත්ත රූප මැවෙන්න පටන් ගත්හ.මේ සිතුවිලි අතර අපූරු (පෙර නොවූ විරූ) සිතිවිල්ලක් පහළ විය. වත්සලා මාගේ වයසේ උසස් පෙළ වාණිජ විද්‍යා හදාරපු සිසුවියක් විය. ඇය පාසලේ ජනප්‍රිය සිසුවියක්ද වේ.ඒ ඇගේ හැකියාවන් නිසාය.මා ඇයව නොදන්නවා නොවේ යැයි පැවසීමටත් මෙය එක් හේතුවකි.ඇගේ චරිතවත් බව,විවිධ ක්ෂේත්‍රයන් තුළ ඇය පාසලේ දක්වපු දක්ෂතා පිළිබඳ මට යම් චිත්‍රයක් තිබුණි.මේ අවබෝධය නිසාම හෝ වෙන යම් හේතුවක් නිසා හෝ ඇය ලබන වසරේ උසස් පෙළ වාණිජ අංශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාවි යන සිතුවිල්ල නිමේෂයක් මෙන් මගේ සිතට ඇතුළ් වූයේය.  එවැනි සිතිවිල්ලක් පහළ වීමට මගෙත් කාළයක් තිස්සේ වර්ධනය වු යම් මානසිකත්වයක් බලපාන්නට ඇත.නමුත් එය කුමක්දැයි මේ කතාවට වැදගත් නැති බැවින් නොලියමි.නමුත් එය හුදු සිතුවිල්ලක් නොව.සැබවින්ම එය ඉවකි.මට ඇති වූයේ වඩාත් ප්‍රබල ඉවක් බව මට පසක් වූයේ අපගේ උසස් පෙළ ප්‍රතිඵල ලැබී පාසලට ගිය අවස්තාවේදීය.ඇත්ත වශයෙන්ම ඇය වාණිජ අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.මෙය විය හැකිද?තමන් කිසිදාක කතාබහ කර නැති හැඳිනගෙන නැති හුදු ජනප්‍රිය චරිතයක් වීම නිසා ඇස් මානයේ දර්ශනය වූ කෙනෙක් ගැන මෙවැනි අනාගත වාක්‍යයක් ඇති වීමත්,එය එලෙසම සැබැ වීමත්.නමුත් මා එය ඒ මොහොතේ තේරුම් ගැනීමට උත්සහා නොකළද මේ සිදුවීම තවත් වසර හයක් ගතවනතුරුත් සිතේ කොනක තැන්පත් වී තිබුණි. නමුත් මෙතුවක්කල් එය දන්නා එකම පුද්ගලයාද මම වෙමි.ඇයටවත් මේ බව කිව නොහැක්කේ ඇය එය කොහොමටවත් විශ්වාස නොකිරීමට ඇති ඉඩ නිසාය.

නමුත් මා ඇය සමඟ යම් සන්නිවේදනයක නිරත වී ඇත.එය සිදු වූයේද හරි අපූරු විදියකටය.මෙතැන් සිට දිග හැරෙන්නේ මා ඇයට පෙම් කිරීම දක්වා වූ ගමන පිළිබඳවය.ඈ හොඳ කවිකාරියකි.මූණුපොතෙහි ඈ විසින් පළකරන ලද කවි නිසදැස් ආදිය මා කිහිප විටක්ම යළි යළිත් පරික්ෂා කරමි.ඈ විසින් පළකරන ඡායාරූප,ඒවාට ඈ ලියන කවි ආදිය කියවීමෙන් පසු කෙමෙන් කෙම මා විසින් ඇගේ ඇතුළාන්තය අනුමාන කිරීමට වෙහෙසවනු ලැබීය.පාසල් කාලයේ මා ඇගේ බාහිර හැසිරීම නිරීක්ෂණය කළෙමි.දැන් මා ඇගේ අභ්‍යන්තර හැසිරීම නිරීක්ෂණය කරමි.මෙසේ සිදුවීම හරහා මා නොදැනුවත්ම මාව කිසියම් නැවුම් අවකාශයකට කැඳවා ගෙන ගොස් ඇතැයි මට සිතේ. මට දැන් ඇය සමඟ කතා කිරීමට අවශ්‍යය.ඒ සඳහා සුදුසුම නිමිත්තක් සකසා ගැනීමට මට හැකි විය.
මා ප්‍රියකරන ඒ වගේම ඇයද ප්‍රිය කරනු ඇතැයි මා සිතූ එක්තරා මූණුපොත් පිටුවකට මම ඇයට ආරාධනා කළෙමි. එලෙසම ඇය ඒ ආරාධනාව පිළිගෙන තිබුණු අතර එතැන් සිට කිහිප විටක්ම මට ඇය සමඟ යම් අදහස් හුවමාරුවක් කර ගත හැකි විය.මා වත්සලා සමඟ නිතර නිතර අදහස් හුවමාරු වන්නේ ඊටත් ටික කාලයකට පසුව වේ.

ඉතාම අවංකව පවසන්නේ නම් මා මෙලෙස ඇය සමඟ මූණුපොතේ චැට් එකකට සෙට් වෙන්නේම ඇය කෙරෙහි හටගත් යම් ආලයක් නිසාමය.එය නැහැයි කියා පැවසීමට මා කිසිලෙසකත් උත්සහා කරන්නේ නැත.තවද එම ආලය හටගත්තේ කවර තැනකින්ද කියා නිශ්චිතව පැවසීමට මට නොහැකිය.මුලදී ඇගේ කවිබස ගැන ඇරඹී ඒ සංවාදය ක්‍රම ක්‍රමයෙන් කාලනුරූපීව මට අවැසි මාවත වෙත යොමු කරගැනීමට මට හැකියාවක් තිබිණි.එය ඇගේ පැත්තෙන් බැලුවොත් යම් වංක ක්‍රියාවක් ලෙස කෙනෙකු පැවසීමට ඉඩ ඇත.නමුත් මා එය ප්‍රතික්ෂේප කරමි.මක්නිසාද යත් ඇය කෙරෙහි හටගත් ආලවන්ත බව ව්‍යාජයක් නොවන බව මට ඉඳුරාම විශ්වාස බැවිනි.නමුත් මෙය මූණුපොතේ චැට් එකක් හරහා ඇයට සෘජු ලෙස පැවසීමට මට දහිරියක් ඇතත් මට එය එතරම් ගෝචර දෙයක් නොවේ.එබැවින් මගේ උත්සහාය වූයේ දිනෙක ඇයව මුණගැසී ඇයට මේ බව පැවසීමටය.

දිනයක මතුදා ඔබ හමුවන්නට සිත නිබඳව මගේ බලා සිටියි…
සුහද ලෙසින් දෙහදක් හමුවන්නට ඔබ ආවෝතින් හරිම අගෙයි…

ඒ මගේ සිතේ නිතර රැඳි පද දෙකකි. ඇය හමුවීමට මඟක් කෙලෙස නම් පාදගන්නද යන කල්පනාවේ බොහෝ කළක් නිමග්න විය.ඇයව මට අහම්බෙන් හෝ බසයක,දුම්රියක මුණගැසෙනවා නම් මට විටෙක සිතේ.මෙසේ කළක් ගත වීමට ඉඩ හැර මා කිසියම් නිශ්චිත තීරණයක් ගත්හ.එනම් මට ඇයව මුණගැසීමට කැමැත්තක් ඇති බව ඇයට පැවසිය යුතුයි යන හැඟීම මට ඇති විය.

සිතාගත් පරිදිම සුදුසු යැයි හැඟුණු යම් මොහොතක මම ඇයව මුණගැසීමට කැමැති බව දන්වා පණිවිඩයක් යැවීය.පිළිතුරක් ඇය එවා තිබිණි.එනම් ඒ මොකෝ හදිසියේම එහෙම කල්පනාවක් ආවේ යන්නයි.එය සැබවින්ම හදිසියේ පහළ වූ සිතුවිල්ලක් නොවන බව මම දනිමි.එය කාළයක් පුරා සිත්හි දරා සිටි කල්පනාවකි.නමුත් මා ඇයට ඒ බව නොපවසා එය ඉතා සාමන්‍ය හැඟීමක් යැයි දනවන හාස්‍ය මුසු පිළිතුරක් යැවීය.පැය භාගයකට පමණ පසුව පිළිතුරු ලෙස ඇයද හාස්‍ය මුසුකෙරු ප්‍රතිචාරයක් එවීය.එහි වූයේ හමුවීමට නොහැකි බවය! 

මාස ගණනක් අඛණ්ඩව අප දෙදෙනා අතර වූ සන්නිවේදනයේදී මා හැකිතාක් ඇගෙන් යම් යම් දේ ඇසූවද ඒවාට ඇය පිළිතුර දීම විනා එතනින් එහාට ගිය සංවාදයක් ඇය තුළින් ප්‍රකාශ නොවුණු තරම්ය.එසේ සිදු වූවා නම් ඒ වරක් හෝ දෙවරක් පමණි.එයින් ගම්‍ය වන්නේ මට ඇය සමඟ කතා කිරීමට වුවමනාව තිබුනද වත්සලාට මා සමඟ කතා කිරීමට එතරම් රුචියක් නොවුණු බවද?ඒ නිසාද ඇය මට එවැනි පිළිතුරක් දුන්නේ?මා ඇය කෙරෙහි බලාපොරොත්තුවක් තිබෙන බව ඇඟවෙන දේ කතා කළද ඇය ඒවා නොදැනුනා සේ සිටියාද?මේවා වැඩකට ඇති ප්‍රශ්නද?මා ඇයට ප්‍රේම කළද අඩුම වශයෙන් ඇයට මාව මුණුගැසීමට  තරම්වත් වටින් නැත්නම් මම ඇයට ප්‍රේම කරන බව පැවසිය යුතුද?
තනිකඩ කොල්ලෙක් තනිකඩ කෙල්ලෙක්ව මුණගැසෙන විට වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා යනුවෙන් ඇය පසුව කීවාය.එබැවින් මේ කතාව අප නවත්වමුද යැයි ඇය කීවාය.මෙතෙක් කළක් මා ඇය සමඟ කතා කළේ එකම කතාවක් බැවින් ඇය කියනවා නම් ඒ කතාව නවත්වමුයි කියා මා තවදුරටත් කෙසේ නම් කතා කරන්නද?කුමක් නම් කතා කරන්නද?

අද කතා නැතිද සිත සිටි තැන එලෙස තියෙනවා
ඔබේ කතා මතකය මට සුවය ගෙනෙනවා


ඒ මගේ අතින් ටික දිනකට පසුව ලියැවුණු පද දෙකකි.මම තවමත් ඇය අවසාන වතාවට කියූ තනිකඩ කොල්ලෙක් තනිකඩ කෙල්ලෙක් හමුවීමේදී සිදු වීමට ඉඩ ඇති වැරැද්ද කුමක්දැයි  කල්පනා කරමින් සිටිමි!

Wednesday, July 1, 2015

ආවර්ජනා...

සරසවි දිවි ගමනේ එක් නිශ්චිත මොහොතක් නැවත ආවර්ජනය කිරීමට දැරු උත්සහායකි. නමුත් දැන් එය අයිති අතීතයට පමණකි.හිමි වූ දෙයක්වත් අහිමි වූ දෙයක්වත් නැති තරම්.

"එක සවසක
වැහි දවසක
සුමනදාස පාලම උඩ
ඇය එනතුරු
පැය ගණනක්
බලා සිටියා මතකයි මට

අඳුර ගලන
පින්න වැටෙන
රොබරෝසියා මල් පාරේ
ඈත සරණ
දනන් අතර
ඇගේ රූපය
සෙව්වනේ මම"

https://www.facebook.com/photo.php?fbid=962622960421404&set=o.224973727540425&type=3&theater

Sunday, June 28, 2015

එහෙම වෙන්නැති!


නෙතට රිදවුම් මතක සටහන්
කෙමෙන් බොඳ වී මැකී යන්නැති
සිතට ලතැවුල් ගෙනෙන සුසුමන්
සෙමින් වා තල වැළඳ ගන්නැති

දවස් සති හා මාස ගණනක්
එලෙස ගත වී ගෙවෙන්නට ඇති
හීන් සීරුවේ නිදපු කුසුමක්
සුවඳ දී යළි පිපෙන්නට ඇති

නැවුම් කුසුඹින් ගුවන විහිදී
දුරින් සිටි බිඟු වසඟ වන්නැති
පවන බිඟු හා නොමඳ එක් වී
තඹර ලිය මතු සොයා යනු ඇති

Friday, March 13, 2015

තවම නොකියූ හදේ සැඟවූ-බලා සැනසෙන පෙම් සිතක්



නිමේෂයකදී සිතට වැද ගත්
රසෙන් මත්කළ හැඟීමක්
කෙමෙන් විකසිත මහද සැදි නව
මිතුරු නොමිතුරු බැඳීමක්
කවක පද ලෙස මුදුව ගලනා
මියුරු අරුතක කළාවක්
සොඳුර නුඹ මට මගේ ලොව තුළ
සදා නොමැකෙන මතකයක්

Friday, October 10, 2014

මේ ලොවට ඔබ ආදරේ නම් -මුලු ලොවම ඔබටත් ආදරෙයි (ගීතයක කතාවක්)

සමාජයක් හැමවිටම කළුයි කියා හිතනවා නම් එය වැරදිය,එසේම එය හැමවිටම සුදුයි කියා හිතනවා නම් එයද වැරදිය.මෙහිදී කළු හා සුදු යන්න හොඳ හා නරක යන්න හැඟවීමට භාවිතා කළද එය එතරම් සුදුසු නොවේ යැයි වෙලාවකට සිතේ.කෙසේ වෙතත් සමාජය ඉතාම නරක තැනක්ය එයට නිරාවරණය නොවිය යුතුය කියා සිතන කෙනෙකුට විශේෂයෙන් දූවරුන්ට, එසේ නොවී සමාජයේ ඇති හොඳ දේ දකින්නට යහපත් දේ ලබාගන්නට කියා පියෙක් විසින් ඇරයුම් කරන ගීතයකි රත්න ශ්‍රී විසින් ලියන ලද මෙම ගීතය.



මගේ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි

ඇය විසින්ම කොටු වී සිටින කුටුම්භයෙන් එළියට ඇවිදින් මේ සමාජය නම් රැයෙහි මිහිරිම දේවල් විඳගන්නට ඇයට හැකි බව ගීතයේ මුල් කොටසින් කියවේ.නමුත් එක් කොන්දේසියක් මත-එනම් ඇය නිසි සිහි බුද්ධියෙන් සිටිනවා නම් (ඔබ අවදියෙන් නම්).

සේපාලිකා මල් පිපෙන්නේ රාත්‍රියටය. නිලට බැබළෙන තාරකා ඇත්තේද රාත්‍රියෙහිය.රාත්‍රිය කෙතරම් කළුවර වුවද සේපාලිකා මල් පිපෙන විට නිල් තාරකාවන් පායන කළ එය සුන්දර මොහොතකි.සමාජයද එසේය,එය කුරිරු විය හැක,නමුත් එහිද වඩාත් සුන්දර දේවල් තිබෙනවා නොඅනුමානය.නමුත් ඇය කුටුම්භයට වී කොටු වී සිටියහොත් ඇයට මේ කිසිවක් දැක ගත නොහැකිවනු ඇත.ඇය අවදියෙන් සමාජයට අවතීර්ණ වන කළ මේ ලොව එතරම් දරුණු නොවන බව ඇය තේරුම් ගන්නවා ඇත.එවිට එය සිහි වී ඇයට තනියම සිනා යෑමටද ඉඩ තිබේ-මක් නිසාදයත් තමන් මෙතුවක් කල් මුණ නොගැසුණේ හිතන තරම් කළු නොවන යකෙකු බව අවබෝධ වී.

සේපාලික මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

සොබාදහමේම කොටසක් වන මිනිසා එවන් සොබදහමේම සම්පත් භුක්ති විඳීම වරදක් නොවේ.එය සොබාදහම විසින්ම අපට උරුම කර දුන් දෙයකි.නමුත් එසේ නොවී ලෝකයෙන් සමාජයෙන් මුළු ගැන්වී සිටියහොත්-එනම් ඝන කළුවරට පෙම් කළොත්, පෙර කී සොබාදහමේ දායදයන් වල ඵලය කිම?අප ඒවාට ණය නොවේද?මිනිසුන් වශයෙන් අප ලෝකය තුළ ඉපිද ලෝකය තුළ හැදී වැඩී ලෝකය තුළම නැසෙන නිසා ලෝකයත් සමඟ අවබෝධයෙන් ජීවත් වීම ඉතා වැදගත්ය.මේ පොළව තුළ පය ගසා ජීවත් විය යුතුය. මිනිසුන් ඇසුරු කළ යුතුය,සමාජශීලි විය යුතුය.එනම් ජීවත් වීමට උගත යුතුය. එලෙසම එක දෙයක් අමතක නොකළ යුතුය.එනම් ලෝකය විසින් අපට දායද කර දුන් කිසිවක් අපගේ නොවන බවත් හුදෙක් අප ඒවා භුක්ති විඳ නැවත අප එය ලොවට බාර කළ යුතු බවත් ඇය දැන ගත යුතුය.මේ අන් කිසිවක් නොව,ලෝකයෙහි සමාජයෙහි පය ගසා ජීවත් වන විට අප විසින්ම ඇති කර ගත යුතු මානව දයාවයි. පරාර්ථයයි.ඔබ එසේ වන කළ ලෝකයද එසේ වනු ඇත.


ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට අප ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට 
හෙට ලොවට පෙරළා දිය යුතුයි
මේ ලොවට ඔබ ආදරේ නම් 
මුලු ලොවම ඔබටත් ආදරෙයි

සිංදුව අහන්න:


Monday, September 29, 2014

වැස්ස වළාහක දෙවියනි!





ඉරෙන් පොළව ගිනි ලා ගෙන ඇති   කළට
 
විරෙන් බලෙන් අප මේ දිවි රැක       ගන්ට

වැරෙන් ගත්තේ මේ බර කඳ හිස     මතට

වරෙන් දුවේ අරෙගෙන ඔය පියන්      කට

Wednesday, September 10, 2014

එක් කවි කතාවක්....



ඔබේ කවිය සොරාගත්තේ ඇයිද    සොයන්න
තැවුල් සිතක් මවෙත කිසිත් ඇති නොමවන්න
තුරුණු හදක මැවුණු සෙනේ දැන  ලැබගන්න
මගේ කවිය මඳක් නතර වෙලා         බලන්න 

දහස් නුවන් - රහස් වෙසින් බලා      සිටින  සඳ
සෙමින් ඇවිත් මගේ නෙතට කතා      කරනවද?
රැයේ අලුත් සිහින තුළට           හදිස්සියේ වැද
මටත් හොරෙන් ලැගුම් අරන් ඉන්නෙත් ඔබමද?

සෙමින් ඇවිත් ඔබේ නෙතට කතා කරන විට
දෙනෙත් ඔබේ මා මඟහැර පලා         යාවිද?
රැයේ සිහින තුළට වැදී ලැඟුම්         ගත්තට
තරහා නොවී මට සමාව දෙන්න    ඇහැකිද?

Saturday, September 6, 2014

කවියක් නොවේ














රසයක් සොයන කුසකි
සොයමින් අහරක ඇති මියුරු ඉම
අහරක් සොයන කුසකි
අසමින් රසයක ඇති ඵලය කිම



Tuesday, August 5, 2014

අලුත් සඳක් හෙට යළි පායාවි


අද සඳ අඩුවෙන් දිලෙන්නේ මන්දැයි
තරු පෑයූ රැය වෙනදා වගේමයි
පවනත් අලසව තුරු සනසා යයි
වැව් දිය නිසලව තනියම හැසිරෙයි

වැව් දිය පවනට කතා කරන්නේ
සඳ විරසක  කිමදැයි විමසන්නේ
පවනත් සිය මුනිවත රැකගන්නේ
මේ රැය ඒ ලෙස කල් පසුවන්නේ

හිරු ඇවිදින් තව දිනක් සදාවි
සුපුරුද ලෙස රැය සිත්තම් වේවි
අලුත් සඳක් හෙට යළි පායාවි
වැව් දිය රළ නගමින් දඟලාවි


Sunday, June 22, 2014

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ....


අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ....

මල් මිටක් ගෙනත් කාහට පිළිගන්නේ...
මල් සුවඳ පමණි අද මා සිත පුබුදන්නේ...
කවි ලියා තබන්නේ ඇයිදැයි සිහිවන්නේ...
කවි ලියා තබා මා සහනය ලැබගන්නේ...

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ...

වැහි වළාකුලක්විත් කුමටද ගොරවන්නේ...
වැසි වැටුණා කියා නැත මා සිත තෙත්වන්නේ...
ඔබ නොකී වදන් ගැන තවමත් ලතැවෙන්නේ...
ඔබ කියූ වදන් ගැන නෑ හද වෙහෙසෙන්නේ...

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ...//

Saturday, May 17, 2014

එය එසේම එසේම වී-එච්චර කලකි

තුන් මාසයකට පසු.......................

විවිද සෙලවෙන ඇලීම් බැඳීම් අතර
සවි කරගත්
ප්‍රථම ඇලීම
ප්‍රථම බැඳීම
හෙළි කළ මොහොතේම
අකුණු පහරක් වැදී
ක්ෂණයකින් නැති වී
අතුරුදහන් වන්නේ යම් සේද
වෙරළෙ ඇඳී රුවක්
රළ පෙළට හසු වී
මැකී යන්නේ යම් සේද
විරියෙන් දැල්වූ
පහන් සිලක්
සැනින් හැමූ සුලං රැල්ලට හසු වී
නිවී යන්නේ යම් සේද
එය එසේම එසේම වී
එච්චර කලකි

.............................මට සිහි විය.



Wednesday, February 19, 2014

සොවින් සැඟවුණු මිහිරි පද රැස - උරුම කවි සිත් සනස ගන්නට



තෙදැති හිරුවත ගුවන නැගෙනුයේ
ලොවට එළියක් වන්න පමණද
නැගෙන හිරු හෝ බැසෙන හිරු දෙස
බලන නෙත් සිත් සනහලන්නට

දිලෙන සොමිසඳ ගුවන නැගෙනුයේ
රැයට සිසිලක් වන්න පමණද
හිරුට නොම වන සඳට ඇති රස
සොයන පෙම් සිත් පුබුදුවන්නට

සුවඳ දෙන මල් ගසක පිපිනුයේ
නෙතට මිහිරක් වන්න පමණද
රසැති රොන් පිරි එවන් මල් දෙස
ඇදෙන බිඟු සිත් මත් කරන්නට

ලියන පද වැල් සිතට පැමිණියේ
ඔබට රසයක් වන්න පමණද
සොවින් සැඟවුණු මිහිරි පද රැස
උරුම කවි සිත් සනස ගන්නට

Saturday, February 8, 2014


මල්
බඹරුන් දනිති
රොන් බී වයන්නට
මිනිසුන් දනිති
පුදසුන මත පුදන්නට
එනමුත් මල්
දන්නා දෙයක් නැත
පිපෙන්නට
පරවෙන්නට මිස

Friday, January 10, 2014

ඒ නම් කවර පෙමක්ද?



කල්ප ගණනක් පෙරුම් පිරුවෙමි
නුඹත් සෙවණැල්ලක් මෙනි
දැමුණු සිත බෝධියට නැමුවෙමි
කවුරු නොදනිත් නුඹ දනී
මෙලෙස සරණව යන ලෙසින් අද
පෙරද මා හා එක්විණි
යසස දරණා සෙනෙහබර සිත 
සුවඳ දෙන පියුමක් වැනි

නොබිඳගන්නට මෙතෙක් කල් සිත
සමත් වු නුඹ ස්නේහයෙන්
පුරන්නට මා පාරමී බල
රුකුල් වූ නුඹ ප්‍රේමයෙන්
ලබන්නට ඒ උතුම් බුදු තෙද
හේතුඵල වන අනුහසින්
එතෙරවන්නට නුඹට හැකිවෙයි
කෙලෙස් දම් පිරි ලෝකයෙන්


Monday, December 16, 2013

ගැහැණු සහ පිරිමි

මෙම ලිපිය ලිවීමටත් ඒ සඳහා වන අදහස් ඇති වීමටත්  වස්තු බීජය වූයේ දැනට වසර එකහමාරකට උඩදී මා කියුවූ ගැහැණු ලොව හා පිරිමි ලොව(කතෘ මතක නැත.කෙසේවෙතත් ඔහු මනෝ වෛද්‍යවරයෙකි) නම් පොතයි. ගැහැනිය සහ පිරිමියා වාස්තවික අයුරකින් තේරුම් ගැනීමට පුලුවන් යැයි කවුරුන් හෝ සිතනවා නම් එය මුළාවකි. මක්නිසාදයත් ගැහැණු සහ පිරිමි අතර පමණක් නොව ගැහැණු ගැහැණු අතරද පිරිමි පිරිමි අතරද ඇත්තේ සමානකම් වලට වඩා වෙනස්කම් රාශියකි.එවන් තත්ත්වයක් උඩ ගැහැණිය සහ පිරිමියා යන්නට නිරපේක්ෂක වූ අර්ථකතන ඇතැයි සිතීම උගහටය. නමුත් සියුම්ව නිරීක්ෂණය කරන්නෙකුට ගැහැණිය මෙන්න මේ වගේය පිරිමියා මෙන්න මේ වගේය ලෙස ඔවුනොවුනට ආවේණික වූ ලක්ෂණ ,හැඩතල හඳුනාගැනීම එතරම් අපහසු නැත.

ඉහත පොතෙන් ගැහැණිය සහ පිරිමියා අතර ඇති මූලික වෙනස්කම ලෙස දක්වා තිබුණු දේ ඉතා වැදගත් යැයි සිතමි. ගැහැණිය ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ හැඟීම් සහ දැනීම් සමඟ බවත් පිරිමියා ජීවත් වන්නේ ප්‍රශ්න සහ විසඳුම් සමඟ බවත් එහි සඳහන් විය.ගැහැණිය නිතර තමාගේ හැඟීම් සහ දැනීම් තවත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට කැමතිය. ඇය මානව සම්බන්ධතා අගයයි. මේ නිසාම ඇය නිතරම කතාකරයි.ඇයට නිතරම කතා කිරීමට අවශ්‍යය. එසේ කිරීමෙන් ඇය තමාට දැනෙන මානසික පීඩාවන් වුවද සමනය කරගනියි. නමුත් පිරිමියා මෙයට හාත්පසින්ම වෙනස්ය. ඔහු නිතරම සටන් කරන්නේ ප්‍රශ්න සමඟය. ඔහු නිතරම ඒවාට විසඳුම් සොයා යයි. ඔහු සතුටු වන්නේ විසඳුම සොයා ගැනීමෙනි. විසඳුම් සොයාගැනීම අරමුණ වන නිසාම ඔහු නිතරම කල්පනා කරයි.ඒනිසා ඔහුට තනිව සිටීමට අවශ්‍යය.එසේ තනි වීමෙන් ඔහු ඔහුගේ මානසික පීඩාවන් සමනය කරගනු ලබයි. ගැහැනියටද ප්‍රශ්න ඇතත් ඇය ඒවා පිළිබඳ වද නොවේ. ඇය ඒවාට විසඳුම් සෙවීමේ දැඩි ඇල්මකින් පසු නොවෙයි. ඇය ප්‍රශ්නයක් ඇතිවිට වෙනත් කෙනෙක් සමඟ කතා කරයි නමුත් විසඳුම් බලාපොරොත්තු නොවේ. පිරිමියාටද හැඟීම්,දැනීම් නැතුවා නොවේ.නමුත් ඔහු ඒවා පිළිබඳ වද නොවේ.ඔහුට ඒවා පිළිබඳ දැඩි ඇල්මක් නැත. ඔහුට හැඟිමක් දැනීමක් ඇතිවිට ඔහු නිහඬව සිට එය විඳ දරාගනියි.මෙය ගැහැණිය හා පිරිමියා අතර දැකිය හැකි ඉතා ප්‍රබල වෙනස්කමකි.මෙම වෙනස්කම විවහා ජීවිතයට බලපාන අයුරුද එම පොතේ මැනවින් විග්‍රහ කර ඇතත් මෙම ලිපියෙන් ඒ පිළිබඳ කතා කිරීමට උත්සහ නොදරයි.

සොබාදහම විසින් ඇතිකරන ලද මෙම වෙනස මානව සමාජයේ පැවැත්ම උදෙසා රුකුලක් වන බවට සැකයක් නැත.ඔවුන් දෙදෙනා කෙතරම් වෙනස් වුවද මිනිස් පැවැත්මට එය උපයෝගී වන්නේ කෙසේදැයි තේරුම් ගැනීම, ඔවුනොවුන්ගේ වෙනස්කම් වලට ගරුකිරීමට හොඳ අඩිතාලමක් වනවා ඇත. ගැහැණිය හැඟීම් දැනීම් සමඟ ජීවත් වන නිසාම ඇයට අන් අයගේ හැඟීම් දැනීම්ද පිරිමියෙකුට වඩා පහසුවෙන් තේරුම් ගත හැක.සමහරවිට පවුලක දරුවන් වැඩිපුර මවගේ ආදරය,සෙනෙහස පතන්නේ ඒ නිසා විය හැක.(පියෙකුට ආදරය,සෙනෙහස නැතැයි මින් නොකියවේ)සමාජයේ වැඩිපුර පිය ගුණ ගීත වලට වඩා මව් ගුණ ගීත ලියැවෙන්නේත් ගැහැනියගේ කැපී වෙනෙන මෙම ලක්ෂණය නිසා විය හැක.එලෙසම ප්‍රශ්න සහ විසඳුම් සමඟ ජීවත් වන පිරිමියා හරහා සමාජයට අවශ්‍යවන දැනුම නිර්මාණය වේ. ඔහු විවිධාකාර අත්දැකීම් හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සහා කරයි. ප්‍රශ්න සහ විසඳුම් විවර කරන්නේ නව දැනුමක්ය. රැකියාවක් කිරීමට වුවද යම් දැනීමක් තිබිය යුතුය. එම දැනීම ඔහු ලබන්නේ අත්දැකීම් හරහාය.අත්දැකීම් මඟින් දැනුම, දැනුම මඟින් රැකියාව නැවතත් රැකියාව මඟින් අත්දැකීම් ලෙස මෙය චක්‍රීයව සිදුවේ. පිරිමියා සිය පවුලටත් වඩා සිය රැකියාවට ඇලුම් කරන්නේ යැයි මතයක්ද තිබෙන්නේ පිරිමියා පවුලක බෙදා ගතයුතු හැඟීම්, දැනීම් වලටත් වඩා ප්‍රශ්න සහ විසඳුම් වලට කාලය කැප කරන නිසාද?.


ගල් යුගයේ සිටි පිරිමියා ජීවන අරගලය වෙනුවෙන් තොරාගන්නේ දඩයමය.ඒ නිසා ඔහු නිතර ගවේෂණයේ යෙදේ.ඔහුට එකතැන සිටීමට නොහැක.එකතැන සිටීම ඔහුගේ මෙන්ම පවුලේද පැවැත්මට හානිකරය. එය ඔහුට ප්‍රශ්නයකි. ඒ වෙනුවෙන් ඔහු එයට විසඳුමක් සෙව්වේය. විසඳුම දඩයමයි. ගැහැණිය ගල්ගුහාවට වී දරුවන් බලාගෙන සිටියහ. ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවූහ. ඔවුන්ගේ හැඟීම් සහ දැනීම්ද ඇයගේ හැඟිම් සහ දැනීම්ද බෙදාගැනීමට ඇයට අවශ්‍යය. එබැවින් ඇයට නතර වීමට අවශ්‍යය. ඇය ගවේෂණයේ යෙදුනහොත් ඇයට අවශ්‍ය දේ සිදු නොවේ.එබැවින් ඇය ගල්ගුහාවේ විසිණි. ගැහැණිය හැඟීම්,දැනීම් සමඟ ජීවත් වීමත් පිරිමියා ප්‍රශ්න හා විසඳුම් සමඟ ජීවත් වීමත් යන ලක්ෂණයත් සමඟ එකට එන ලක්ෂණයකි ගැහැණිය යම්තැනක නතර වීමත්,පිරිමියා කොහේ හෝ ගමන් කිරීමත්. මෙය අදටත් දැකිය හැක. ගැහැණිය සහජයෙන්ම පිරිමියාට සාපේක්ෂව සන්සුන්ය,තැන්පත්ය. නමුත් පිරිමියා සාපේක්ෂව එසේ නැත. අපි දඩබ්බර කොල්ලෝ ගැන කතා කරන්නේ ඒ නිසා විය හැක. කොල්ලෝ රස්තියාදු ගහන්නේත් ඒ නිසා දැයි නොදනිමි. කෙසේවෙතත් මෙය තවත් එක් ප්‍රබල ලක්ෂණයකි.එනම් ගැහැණියගේ එක තැන සිටිමේ ස්වභාවයත් පිරිමියාගේ එක තැන නොසිටිමේ ස්වභාවයත්ය.