Monday, December 2, 2013

ආගම,කුලය සහ විවාහය

විවාහය යන්න විවිධ සංස්කෘතීන්හි විවිධ අයුරෙන් සංකල්ප ගත කෙරුණු දෙයක් වන අතර ප්‍රධාන වශයෙන් බටහිර සහ පෙරදිග සංස්කෘති සැළකුවහොත් අපට දැකිය හැකි මූලික වෙනස්කම් කිහිපයක් වේ. ඉතා සරළව විවාහය යන්න ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර සිදුවන නෛතික බැඳීමක් ලෙස අර්ථ දැක්වුවහොත් කිසිවෙකු අමනාප නොවනු ඇතැයි සිතමි.එනම් මෙය දෙදෙනෙකු අතර සිදුවන බැඳීමකි. නමුත් විවාහය හුදෙක් දෙදෙනෙකු අතර සිදුවන බැඳීමක් ලෙස විශ්ව සාධාරණ අර්ථ දැක්වීමක් දීම කෙතරම් වලංගුද? පෞද්ගලිකත්වය හා වෙන්කිරීම ප්‍රධාන ලක්ෂණ වන බටහිර සංස්කෘතිය තුළ දරුවන් වැඩිවියට පත් වූ පසු දෙමව්පියන්ගෙන් වෙන් වීමත් පසුව ඔවුන් ඔවුනට රිසි සේ ස්වාධීනව තීරණ ගැනීමත් යන්න ඉතාම සුලබ දෙයකි.එවන් වූ පසුබිමක් තුළ විවාහය යන්න දෙදෙනෙකු අතර සිදුවන විවාහයක් ලෙස ගැනීම පුදුම විය යුතු දෙයක් නොවේ. නමුත් පෞද්ගලිකත්වය මෙන්ම සාමුහිකත්වයද අගයන එකක් එකිනෙක බැඳී පවතින බොහෝ පෙරදිග සංස්කෘතීන් තුළ විවාහය යන්නට ඉහත අර්ථ කථනය දීම ප්‍රමාණවත් නැත.පෙරදිග සංස්කෘතීන් වල විවාහය යනු හුදෙක් දෙදෙනෙකු අතර සිදුවන විවාහයක් නොව පවුල් දෙකක් අතර සිදුවන විවාහයක් බව වරෙක මහචාර්ය නලින් ද සිල්වා පවසා ඇති බව මට මතකය.එහිදී දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වීමක් නොවන අතර විවාහ වූ පසුවද දෙමව්පියන් සිය දරුවන් සමඟ ජීවත්වනු දැකිය හැක.නමුත් දරුවන්ට පෞද්ගලික වු විවාහ ජීවිතයක් නැතුවාද නොවේ. මෙකී ලක්ෂණ හේතු කොටගෙන දෙමව්පියන් වුවද සිය දරුවගේ අනාගත සහකරුවා හෝ සහකාරිය පිළිබඳ යම් සැළකිල්ලක් දක්වනු ලැබේ. එබැවින් දරුවන්ගේ විවාහයට හුදෙක් දරුවන්ගේ ආකල්ප වලට අමතරව දෙමව්පියන්ගේ ආකල්පද යම් බලපෑමක් කරනු ලබයි. මෙය පැහැදිලිවම සංස්කෘතික ලක්ෂණයක් වන අතර කෙනෙකු  එය බටහිර සංස්කෘතියට සාපේක්ෂව පෙරදිග සංස්කෘතීන් වල පසුගාමී හෝ අයහපත් ලක්ෂණයක් ලෙස හුවා දැක්වීමට යාම මෝඩකමකි.

ආගම සහ කුලය යන්නද විශේෂයෙන් පෙරදිගයන් අතර පවතින්නා වූ ,විවාහය යන කාරණාවට අදාළ කරගන්නා දේවල් වේ.අප රටෙහිද මෙය අඩු වැඩි වශයෙන් බොහෝදෙනා අතර දැකිය හැකි සුලබ කාරණවක් වේ. ඒ වගේම විවිධ පුද්ගලයන් අතර මේ පිළිබඳ විවිධ වූ විවේචනද දැකිය හැක.කෙනෙකු ආගම විවාහයට බලපෑමක් කිරීම අනුමත කළද කුලය විවාහයට බලපෑම් කිරීම අනුමත නොකරයි. තවත් කෙනෙක් ආගම මෙන්ම කුලයද විවාහය සඳහා අදාළ කරගනියි. නමුත් මා දන්නා ආකාරයට සමහරෙක් ඉහත පළමු පිරිසට වඩා දෙවන පිරිස කෙරෙහි අවඥා සහගත ආකල්පයක් දරණු ලැබේ. අද පුවත්පත් වල පළවන මංගල යෝජනා වලද කුලය යන්න අඩුවක් නැතුව සඳහන් කරනු දැකිය හැක.මා පෞද්ගලිකව මෙයට විරුද්ධ නැත්තේ අතීතයේ සිටම අප අතර කුල ක්‍රමයක් පැවතී ඇති බැවිනි. නමුත් එයින් අදහස් කරන්නේ මා කුලභේදයක් අනුමත කරන බව නොවේ.අද අප අතර කුලභේදයක් සුළුවෙන් හෝ පවතීනම් එය ඇතිවුණේ මහනුවර යුගයේ එනම් ඉංග්‍රීසි පාලන සමයේ බව අමතක නොකළ යුතුය. කුල ක්‍රමය යනු අතීතයේ සිට සිංහලයන් සිය රාජකාරී කටයුතු පාරම්පරිකව පවත්වාගෙන ආ ක්‍රමයක් වන අතර ඒ තුළ ඉන්දියානු කුළ පීඩනය වැනි දෙයක් දක්නට තිබුණේ නැත. නමුත් විවාහය වැනි කාරණා වලදී සිංහලයන් බොහෝදුරට කුලය යන්න යොදාගත්තේ හුදෙක් කුල ගෝත්‍රික අදහසකින් නොව පෘතග්ජන කාටත් පොදු "නම්බුව" යන මානසික ආකල්පය මත යැයි සිතිය හැක. මෙහි වැරද්දක් නැතැයි මා පවසන්නේ කෙනෙක් ආගම යන්න විවාහයට අදාළ කරගන්නේ කවර ප්‍රමාණයකින්ද ඒ හා ප්‍රමාණයකින්ම තවත් අයෙකුට කුලය යන්නද විවාහයට අදාළ කරගැනීමේ අයිතියක් ඇති බැවිනි. විශේෂයෙන් සමහර දේවවාදී අදහස් දරණ ඇත්තන් බොහෝවිට තම ආගමික අදහස් විවාහය කෙරෙහි ඉතා ඉහළින් අනුගමනය කරන අතරම කුලය යන්න විවාහයට අදාළකරගන්නා කෙනෙකු කෙරෙහි අවඥා සහගතව බලයි.මෙවැනි බොහෝදෙනෙකුට අමතක වන කරුණක් වන්නේ ආගම මෙන්ම කුලයද මිනිසාගේම නිර්මාණ වන බවය. එවැනි තත්වයක් මත ආගම යන්න විවාහයට තීරණාත්මක දෙයක් ලෙස සළකන කෙනෙකු කුලය යන්න විවාහයට තීරණාත්මක දෙයක් ලෙස සළකන කෙනෙකුට වඩා උසස් වන්නේ කෙසේද?

මෙය වටහාගත් සිංහලයන් බොහෝදෙනෙක් මෙරට සිටින බව ඇත්තකි.නමුත් සමහර උගතුන් පවා මෙය තේරුම් ගන්නේ බටහිර සංස්කෘතියට සාපේක්ෂව මේ දෙස බැලීමෙනි.මෙහිදී කිවයුතු වැදගත් දේ වන්නේ ආගමේ නමයෙන් හෝ කුලයේ නාමයෙන් හෝ සමාජයේ පීඩනයක් ඇතිකිරීම පැහැදිලිවම හෙළා දැකිය යුතු බවය. නමුත් පුද්ගල ආකල්ප මත තීරණය වන විවාහය වැනි දෙයකට ආගම, කුලය යන්න යොදාගැනීම ප්‍රශ්නයක් නොවේ. කෙනෙකු ආගම සහ කුලය යන දෙකම විවාහය සඳහා බැහැර කරන්නේනම් එයද ඒ පුද්ගලයාගේ තවත් ආකල්පයක් පමණක්ම වේ.ඒ හැර ඔහු/ඇය අනෙකාට වඩා උසස් කෙනෙකු ලෙස සිතාගැනීමට තරම් එය නිර්ණායකයක් වන්නේ නැත. වර්තමානයෙ බොහෝ විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් ආගමික හා කුල අදහස් නොසළකනවා විය හැක.නමුත් ඔවුන්ට සිය දෙමව්පියන්ගෙන් ස්වායක්ත විය නොහැක.පෙර කී පරිදි අප වැනි රටවල විවාහය යනු පවුල් දෙකක අතර සිදුවන්නකි,.එවිට දෙමව්පියන්ගේ ආකල්පද විවාහයට එකතු වේ. අදටත් මෙරට වැඩිහිටියන්ගේන් බොහෝදෙනා ආගම සහ කුලය සැලකිල්ලට ගනු ලැබේ.මේ අපේ සංස්කෘතියයි.මෙය කිසිසේත්ම බටහිර සංස්කෘතිය සමඟ සැසඳීමට තරම් දෙයක්වත් බටහිර සංස්කෘතිය අප සංස්කෘතියට වඩා උසස් ‍යැයි කීමට තරම් දෙයක්වත් නොවේ.

සාරාංශයක් ලෙස මා මෙහිදී කීමට තැත් කළේ කෙනෙකු  පීඩනයකට ලක්නොවනතාක්  විවාහය යන කාරණාවේදී ආගම කුලයට වඩා සුවිශේෂි නොවන්නාසේම ආගම්,කුල නොසළකා හැරීම එසේ සැලකීමට වඩා සුවිශේෂී වන්නේද නැත.එය හුදෙක් සංස්කෘතික වෙනසකි.


12 comments:

  1. /* පෙරදිග සංස්කෘතීන් වල විවාහය යනු හුදෙක් දෙදෙනෙකු අතර සිදුවන විවාහයක් නොව පවුල් දෙකක් අතර සිදුවන විවාහයක් බව වරෙක මහචාර්ය නලින් ද සිල්වා පවසා ඇති බව ...*/

    පුහ්, නලින්ද ගෙ ප්‍රවාද!
    මාර ඔරිජිනල් නේද?

    ReplyDelete
  2. /*එවැනි තත්වයක් මත ආගම යන්න විවාහයට තීරණාත්මක දෙයක් ලෙස සළකන කෙනෙකු කුලය යන්න විවාහයට තීරණාත්මක දෙයක් ලෙස සළකන කෙනෙකුට වඩා උසස් වන්නේ කෙසේද?*/

    1. ආගම තොරාගැනීමකි. කුලය තෝරා ගත නොහැක.
    2. ආගම හා බැඳී බොහෝ චාරිත්‍ර ඇත.
    3. ළමයින් ට ආගම දෙන විටද ප්‍රශ්න ඇතිවිය හැකිය.

    එහෙත් මා දන්නා පමණින් ලංකාවේ කුල වලට මේවා අදාළ නැත.

    ReplyDelete
    Replies
    1. අදහස් පළ කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.
      යම් කිසි ආගමක් විවාහය යන කාරණාවේදී කිසියම් කෙනෙකුව පීඩනයට ලක් කරන්නේ යැයි සිතන්න. එවැනි අවස්තා ඕනේතරම් තියෙනවානේ.උදාහරණයක් ලෙස බැන්දට පස්සේ තමන් අදහන ආගම අතහැර අනෙකාගේ ආගමට එන ලෙස බලපෑම් කිරීම. එවැනි අවස්තාවක එකී ආගම විසින් කුලය යන්නට වඩා සාධනීය වූ දෙයක් එම බලපෑමට ලක් වූ පුද්ගලයා හට සිදු කරනවා යැයි ඔබ සිතනවාද?එසේ නැතනම් ආගම තීරණාත්මක යැයි සිතන කෙනා කුලය තීරණාත්මක යැයි සිතන කෙනාට වඩා උසස් වන්නේ කෙසේද?
      මා නම් සිතන්නේ ආගම සහ කුලය යන දෙකම එවැනි අවස්තාවක(විවාහය යන සන්දර්භයේදී) පවතින්නේ එකම මට්ටමක බවය.

      Delete
    2. /*උදාහරණයක් ලෙස බැන්දට පස්සේ තමන් අදහන ආගම අතහැර අනෙකාගේ ආගමට එන ලෙස බලපෑම් කිරීම. එවැනි අවස්තාවක එකී ආගම විසින් කුලය යන්නට වඩා සාධනීය වූ දෙයක් එම බලපෑමට ලක් වූ පුද්ගලයා හට සිදු කරනවා යැයි ඔබ සිතනවාද?*/

      ඇත්තෙන්ම නැහැ. කුමන වූ කරුණක් උදෙසා කවුරුන් වුවත් බලපෑම් කිරීම වැරදියි.
      නමුත් මට තේරුම් ගිය හැටියට, මේ ලිපියෙන් කතා කරන්නේ බලපෑම් කිරීම නෙවෙයි. පුද්ගලික මතය : විවාහය කදී කුලය සැලකීම හරිද වැරදිද යන්න.
      මම එහි මුලිකව දකින වැරැද්ද අද කාලයේ 'කුලය' යනු තාර්කික පදනම ක් නැති දෙයක් වීමයි. උදාහරණෙකට අපි හිතමු ගොවි සහ කරාවේ කුල දෙකක විවාහයක් කියලා. මේ දෙකේ විවාහයක් සාර්ථක හෝ අසාර්ථක වෙන්න කුලයෙන් එල්ල වෙන බලපෑම් මොනවාද? මෙහිදී මම අදහස් කරන්නේ විවාහයෙන් පසු කුල දෙක අතර වෙනස් කම් නිසා විවාහයට එල්ල වෙන්න පුළුවන් බලපෑම්?

      Delete
    3. ඇත්තටම මම මේ ලිපියෙන් අදහස් කළේ විවාහ ජීවිතයක සාර්ථක හෝ අසාර්ථක බවට ආගම හා කුලය බලපාන ආකාරය ගැන කීමට නොව,දෙදෙනෙකු අතර විවාහයක් තීරණය වීමේදී මිනිසුන් විසින් ආගම හා කුලය අදාල කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමටය. ගොවි හා කරාවේ කුල දෙකක දෙදෙනෙකු විවාහ වූ පසු එම කුල වෙනස විවාහ දිවියට කාලීන වශයෙන් බලපෑමක් නොකරන තරම් කියායි මා සිතන්නේ.නමුත් එවැනි කුල දෙකක දෙදෙනෙකුගේ විවාහයක් තීරණය වීමේදී අඩුම වශයෙන් ඔවුන් දෙදෙනා නොවෙතත් ඔවුන්ගේ දෙමව්පියන් හෝ කුලය යන්න සොයා බලනවා ඇති.එසේ සොයා බලා ඔවුනොවුන් යම් එකඟතාවයකට එයි(විවාහය නොකිරීමට එළඹෙනවා යැයි සිතමූ). දැන් සිතන්න බෞද්ධ කෙනෙකු සහ කතෝලික කෙනෙකු අතරත් විවාහයක් ගැන බලාපොරොත්තුවක් තිබෙනවා කියා.අඩුම වශයෙන් ඔවුනොවුන්ගේ දෙමව්පියන් ආගමික වෙනස නිසා විවාහයට විරුද්ධ වේ. එසේත් නැත්නම් එක් පාර්ශවයකින්(බොහෝදුරට කතෝලික පාර්ශ්වය ) අනෙක් පාර්ශ්වයට ආගම වෙනස් කිරීමට පවසයි. ඔහු හෝ ඇය එයට අකමැති නම් විවාහය සිදුනොවෙයි. දැන් මේ අවස්තා දෙකේදීම විවාහයන් සිදුනොවන්නේ ආගම හා කුලය පිළිබඳ ඔවුන් දක්වන ආකල්ප නිසාය.බොහෝ විට මේ අවස්තා දෙකේදීම ඔවුන්ට ඇත්තේ එකම ආකල්පයක් මත පදනම් වූ තීරණයන්ය. එමනිසා ආගම සහ කුලය යන දෙකම ඒ මොහොතේදී(හැම මොහොතේදීම නොවේ) එකම ගණයට වැටේ. අන්න ඒකයි මා පැවසුවේ ආගම තීරණාත්මකයි සිතන කෙනා
      කුලයද තීරණාත්මක යැයි සිතන කෙනාට වඩා උසස් නොවන බව.පෞද්ගලිකවම මා ඉන්නේ මේ දෙකම විවාහයට අත්‍යවශ්‍ය නැත යන මතයේ.නමුත් කෙනෙකුට එය අවශ්‍ය යැයි හැඟේ නම් එහිද වරදක් නැත. :)

      Delete
    4. ඔබ ඉතාම සංයමයෙන් අදහස් දැක්වීම ගැන මුලින්ම සතුටු වෙනවා. :)
      ඔබේ අදහසේ යම් කොටස් හා මම එකඟයි.
      X නම් අයෙක් විවාහය සඳහා කුලය/ආගම සාධකයක් කර ගන්නවා යයි සිතමු. එහිදී මට වැදගත් ඔහු එසේ කිරීමට ඇති පදනම යි. X ඔහුගේ දෙමාපියන් සහ පවුලේ අය වෙනත් කුල හා මිශ්‍ර වීමට ඇති අකමැත්ත සළකා සම කුල විවාහයක් පතනවා. X මෙහිදී සිතන්නේ පවුලේ අකමැත්ත මත කරගන්නා විවාහයක දී ඇතිවන අපහසුතා. මෙහිදී X සාධාරණයි මම සිතනවා.
      මොකද ඔබ පවසා ඇති පරිදිම ලංකාවේ බොහෝ දරුවන්ට පවුලෙන් ස්වායක්ත වන්න අමාරුයි.

      මට ප්‍රශ්නයක් තිබෙන්නේ,
      X කුලය/ආගම සාධකයක් කර ගන්නේ තමන් අනුන්ට වඩා 'උසස්' කියා හට ගත පුහු මානය නිසා නම්. මම දැක තිබෙනවා බොහෝ අතින්ම (ආගම, ආර්ථික තත්වය, අධ්‍යාපනය etc ) එක සමාන පවුල් 'කුලය' සාධකයක් කර ගෙන විවාහයට විරුද්ධ වීම. හේතුව වන්නේ, "අපේ කුලේ උසස්, අපේ පරම්පරාවේ කවුරුත් කුලෙන් පිට ගිහින් නැහැ" වැනි පලක් නැති මෝඩ තර්ක.

      Delete
    5. ඔව් පැහැදිලිවම එය ඉතාම දුර්වල පදනම්ක් සහිත දෙයකි.එලෙසම ආගම නිසාද එවැනි විරුද්ධතාවක් හට ගන්නේ නම් හෝ ආගම මාරු කිරීමට බලපෑම් කරයි නම් හෝ එහිද ඇත්තේ ශක්තිමත් පදනමක් නොවේ. මක්නිසාදයත් ඔය ආගම හා කුලය යන දෙකම හදාගන්නේ මිනිසුන්මනේ.ඒවා පිළිබඳ හදාගන්න ආකල්පත් අපේමයි.
      මෙතනදී මා වැඩිපුරම ආමන්ත්‍රණය කරන්නේ විවාහයට කුලය වැඩක් නෑ,නමුත් ආගම නම් හරිම වැදගත් කියලා හිතන පිරිසටයි.

      Delete
  3. ආදරයට මේ කරණා වලින් බලපෑමක් නැති උණත් විවාහය කියන දේ සාර්ථකව ගලා ගෙන යාමට ඔය කාරණා දෙකෙන්ම සෑහෙන්න බලපෑමක් සිද්ද වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අපි කැමති උණත් නැතත් ඒක තමයි දැනට අපේ රටේ තියන සම්ප්‍රාදය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට.
      ඔව් ඔබ හරි,විවාහයට ඔය දෙකම බලපාන්නේ ඒ ඒ පුද්ගලයන් ඒ කෙරෙහි දක්වන ආකල්පය මත,නමුත් ප්‍රශ්නය වන්නේ කෙනෙක් තමන් දරණ ආකල්පය වඩාත් නිවැරදි යැයි අධිතක්සේරු කරගැනීමයි,මිනිසුන් සංස්කෘතික වෙනසට ගරුකළ යුතුය.

      Delete
    2. කොහොමත් විවාහයකට කුලය අදාළ කරගත් යුතු නැත.එහෙම කුලය අදාළ කරගන්නවා නම් ඒක මහා මෝඩ පදනම් විරහිත ක්‍රියාවක්.ආදරෙන් ලංවෙලා ඉන්න දෙන්නෙක්ව කුලයක් නිසා වෙන් කරනවා නම් ඒක මහා මෝඩ සහා අමානුෂික ක්‍රියාවක් හැටියටයි හිතක් පපුවක් තියෙන කෙනෙක් විදියට මට දැනෙන්නේ.

      Delete
  4. මා යම් යම් අවස්ථා වලදී දුටු දේවල් සමග සසදා බැලීමේ දී විවාහය සදහා කුලය හා ආගම යන සාධක දෙකම අනිවාර්ය බලපෑමක් සිදු කරයි යන්න මාගේ හැගීමයි........

    ReplyDelete