හුදෙකලා විරාමයේදී!
Wednesday, July 1, 2015
ආවර්ජනා...
සරසවි දිවි ගමනේ එක් නිශ්චිත මොහොතක් නැවත ආවර්ජනය කිරීමට දැරු උත්සහායකි. නමුත් දැන් එය අයිති අතීතයට පමණකි.හිමි වූ දෙයක්වත් අහිමි වූ දෙයක්වත් නැති තරම්.
"එක සවසක
වැහි දවසක
සුමනදාස පාලම උඩ
ඇය එනතුරු
පැය ගණනක්
බලා සිටියා මතකයි මට
අඳුර ගලන
පින්න වැටෙන
රොබරෝසියා මල් පාරේ
ඈත සරණ
දනන් අතර
ඇගේ රූපය
සෙව්වනේ මම"
https://www.facebook.com/photo.php?fbid=962622960421404&set=o.224973727540425&type=3&theater
Sunday, June 28, 2015
එහෙම වෙන්නැති!
නෙතට රිදවුම් මතක සටහන්
කෙමෙන් බොඳ වී මැකී යන්නැති
සිතට ලතැවුල් ගෙනෙන සුසුමන්
සෙමින් වා තල වැළඳ ගන්නැති
දවස් සති හා මාස ගණනක්
එලෙස ගත වී ගෙවෙන්නට ඇති
හීන් සීරුවේ නිදපු කුසුමක්
සුවඳ දී යළි පිපෙන්නට ඇති
නැවුම් කුසුඹින් ගුවන විහිදී
දුරින් සිටි බිඟු වසඟ වන්නැති
පවන බිඟු හා නොමඳ එක් වී
තඹර ලිය මතු සොයා යනු ඇති
Friday, March 13, 2015
තවම නොකියූ හදේ සැඟවූ-බලා සැනසෙන පෙම් සිතක්
නිමේෂයකදී සිතට වැද ගත්
රසෙන් මත්කළ හැඟීමක්
කෙමෙන් විකසිත මහද සැදි නව
මිතුරු නොමිතුරු බැඳීමක්
කවක පද ලෙස මුදුව ගලනා
මියුරු අරුතක කළාවක්
සොඳුර නුඹ මට මගේ ලොව තුළ
සදා නොමැකෙන මතකයක්
Friday, October 10, 2014
මේ ලොවට ඔබ ආදරේ නම් -මුලු ලොවම ඔබටත් ආදරෙයි (ගීතයක කතාවක්)
සමාජයක් හැමවිටම කළුයි කියා හිතනවා නම් එය වැරදිය,එසේම එය හැමවිටම සුදුයි කියා හිතනවා නම් එයද වැරදිය.මෙහිදී කළු හා සුදු යන්න හොඳ හා නරක යන්න හැඟවීමට භාවිතා කළද එය එතරම් සුදුසු නොවේ යැයි වෙලාවකට සිතේ.කෙසේ වෙතත් සමාජය ඉතාම නරක තැනක්ය එයට නිරාවරණය නොවිය යුතුය කියා සිතන කෙනෙකුට විශේෂයෙන් දූවරුන්ට, එසේ නොවී සමාජයේ ඇති හොඳ දේ දකින්නට යහපත් දේ ලබාගන්නට කියා පියෙක් විසින් ඇරයුම් කරන ගීතයකි රත්න ශ්‍රී විසින් ලියන ලද මෙම ගීතය.
මගේ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි
ඇය විසින්ම කොටු වී සිටින කුටුම්භයෙන් එළියට ඇවිදින් මේ සමාජය නම් රැයෙහි මිහිරිම දේවල් විඳගන්නට ඇයට හැකි බව ගීතයේ මුල් කොටසින් කියවේ.නමුත් එක් කොන්දේසියක් මත-එනම් ඇය නිසි සිහි බුද්ධියෙන් සිටිනවා නම් (ඔබ අවදියෙන් නම්).
සේපාලිකා මල් පිපෙන්නේ රාත්‍රියටය. නිලට බැබළෙන තාරකා ඇත්තේද රාත්‍රියෙහිය.රාත්‍රිය කෙතරම් කළුවර වුවද සේපාලිකා මල් පිපෙන විට නිල් තාරකාවන් පායන කළ එය සුන්දර මොහොතකි.සමාජයද එසේය,එය කුරිරු විය හැක,නමුත් එහිද වඩාත් සුන්දර දේවල් තිබෙනවා නොඅනුමානය.නමුත් ඇය කුටුම්භයට වී කොටු වී සිටියහොත් ඇයට මේ කිසිවක් දැක ගත නොහැකිවනු ඇත.ඇය අවදියෙන් සමාජයට අවතීර්ණ වන කළ මේ ලොව එතරම් දරුණු නොවන බව ඇය තේරුම් ගන්නවා ඇත.එවිට එය සිහි වී ඇයට තනියම සිනා යෑමටද ඉඩ තිබේ-මක් නිසාදයත් තමන් මෙතුවක් කල් මුණ නොගැසුණේ හිතන තරම් කළු නොවන යකෙකු බව අවබෝධ වී.
සේපාලික මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි
සොබාදහමේම කොටසක් වන මිනිසා එවන් සොබදහමේම සම්පත් භුක්ති විඳීම වරදක් නොවේ.එය සොබාදහම විසින්ම අපට උරුම කර දුන් දෙයකි.නමුත් එසේ නොවී ලෝකයෙන් සමාජයෙන් මුළු ගැන්වී සිටියහොත්-එනම් ඝන කළුවරට පෙම් කළොත්, පෙර කී සොබාදහමේ දායදයන් වල ඵලය කිම?අප ඒවාට ණය නොවේද?මිනිසුන් වශයෙන් අප ලෝකය තුළ ඉපිද ලෝකය තුළ හැදී වැඩී ලෝකය තුළම නැසෙන නිසා ලෝකයත් සමඟ අවබෝධයෙන් ජීවත් වීම ඉතා වැදගත්ය.මේ පොළව තුළ පය ගසා ජීවත් විය යුතුය. මිනිසුන් ඇසුරු කළ යුතුය,සමාජශීලි විය යුතුය.එනම් ජීවත් වීමට උගත යුතුය. එලෙසම එක දෙයක් අමතක නොකළ යුතුය.එනම් ලෝකය විසින් අපට දායද කර දුන් කිසිවක් අපගේ නොවන බවත් හුදෙක් අප ඒවා භුක්ති විඳ නැවත අප එය ලොවට බාර කළ යුතු බවත් ඇය දැන ගත යුතුය.මේ අන් කිසිවක් නොව,ලෝකයෙහි සමාජයෙහි පය ගසා ජීවත් වන විට අප විසින්ම ඇති කර ගත යුතු මානව දයාවයි. පරාර්ථයයි.ඔබ එසේ වන කළ ලෝකයද එසේ වනු ඇත.
ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට අප ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
මේ ලොවට ඔබ ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි
සිංදුව අහන්න:
https://www.youtube.com/watch?v=Obbmnz8ulMo
Monday, September 29, 2014
වැස්ස වළාහක දෙවියනි!
ඉරෙන් පොළව ගිනි ලා ගෙන ඇති කළට
විරෙන් බලෙන් අප මේ දිවි රැක ගන්ට
වැරෙන් ගත්තේ මේ බර කඳ හිස මතට
වරෙන් දුවේ අරෙගෙන ඔය පියන් කට
Wednesday, September 10, 2014
එක් කවි කතාවක්....
ඔබේ කවිය සොරාගත්තේ ඇයිද සොයන්න
තැවුල් සිතක් මවෙත කිසිත් ඇති නොමවන්න
තුරුණු හදක මැවුණු සෙනේ දැන ලැබගන්න
මගේ කවිය මඳක් නතර වෙලා බලන්න
දහස් නුවන් - රහස් වෙසින් බලා සිටින සඳ
සෙමින් ඇවිත් මගේ නෙතට කතා කරනවද?
රැයේ අලුත් සිහින තුළට හදිස්සියේ වැද
මටත් හොරෙන් ලැගුම් අරන් ඉන්නෙත් ඔබමද?
සෙමින් ඇවිත් ඔබේ නෙතට කතා කරන විට
දෙනෙත් ඔබේ මා මඟහැර පලා යාවිද?
රැයේ සිහින තුළට වැදී ලැඟුම් ගත්තට
තරහා නොවී මට සමාව දෙන්න ඇහැකිද?
Saturday, September 6, 2014
කවියක් නොවේ
රසයක් සොයන කුසකි
සොයමින් අහරක ඇති මියුරු ඉම
අහරක් සොයන කුසකි
අසමින් රසයක ඇති ඵලය කිම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)