Wednesday, September 10, 2014

එක් කවි කතාවක්....



ඔබේ කවිය සොරාගත්තේ ඇයිද    සොයන්න
තැවුල් සිතක් මවෙත කිසිත් ඇති නොමවන්න
තුරුණු හදක මැවුණු සෙනේ දැන  ලැබගන්න
මගේ කවිය මඳක් නතර වෙලා         බලන්න 

දහස් නුවන් - රහස් වෙසින් බලා      සිටින  සඳ
සෙමින් ඇවිත් මගේ නෙතට කතා      කරනවද?
රැයේ අලුත් සිහින තුළට           හදිස්සියේ වැද
මටත් හොරෙන් ලැගුම් අරන් ඉන්නෙත් ඔබමද?

සෙමින් ඇවිත් ඔබේ නෙතට කතා කරන විට
දෙනෙත් ඔබේ මා මඟහැර පලා         යාවිද?
රැයේ සිහින තුළට වැදී ලැඟුම්         ගත්තට
තරහා නොවී මට සමාව දෙන්න    ඇහැකිද?

Saturday, September 6, 2014

කවියක් නොවේ














රසයක් සොයන කුසකි
සොයමින් අහරක ඇති මියුරු ඉම
අහරක් සොයන කුසකි
අසමින් රසයක ඇති ඵලය කිම



Tuesday, August 5, 2014

අලුත් සඳක් හෙට යළි පායාවි


අද සඳ අඩුවෙන් දිලෙන්නේ මන්දැයි
තරු පෑයූ රැය වෙනදා වගේමයි
පවනත් අලසව තුරු සනසා යයි
වැව් දිය නිසලව තනියම හැසිරෙයි

වැව් දිය පවනට කතා කරන්නේ
සඳ විරසක  කිමදැයි විමසන්නේ
පවනත් සිය මුනිවත රැකගන්නේ
මේ රැය ඒ ලෙස කල් පසුවන්නේ

හිරු ඇවිදින් තව දිනක් සදාවි
සුපුරුද ලෙස රැය සිත්තම් වේවි
අලුත් සඳක් හෙට යළි පායාවි
වැව් දිය රළ නගමින් දඟලාවි


Sunday, June 22, 2014

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ....


අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ....

මල් මිටක් ගෙනත් කාහට පිළිගන්නේ...
මල් සුවඳ පමණි අද මා සිත පුබුදන්නේ...
කවි ලියා තබන්නේ ඇයිදැයි සිහිවන්නේ...
කවි ලියා තබා මා සහනය ලැබගන්නේ...

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ...

වැහි වළාකුලක්විත් කුමටද ගොරවන්නේ...
වැසි වැටුණා කියා නැත මා සිත තෙත්වන්නේ...
ඔබ නොකී වදන් ගැන තවමත් ලතැවෙන්නේ...
ඔබ කියූ වදන් ගැන නෑ හද වෙහෙසෙන්නේ...

අරමුණක් නැතිව මම කවි ලියමි කෙසේ...
අරමුණක් තනාගෙන මම කවි ලියමි මෙසේ...//

Saturday, May 17, 2014

එය එසේම එසේම වී-එච්චර කලකි

තුන් මාසයකට පසු.......................

විවිද සෙලවෙන ඇලීම් බැඳීම් අතර
සවි කරගත්
ප්‍රථම ඇලීම
ප්‍රථම බැඳීම
හෙළි කළ මොහොතේම
අකුණු පහරක් වැදී
ක්ෂණයකින් නැති වී
අතුරුදහන් වන්නේ යම් සේද
වෙරළෙ ඇඳී රුවක්
රළ පෙළට හසු වී
මැකී යන්නේ යම් සේද
විරියෙන් දැල්වූ
පහන් සිලක්
සැනින් හැමූ සුලං රැල්ලට හසු වී
නිවී යන්නේ යම් සේද
එය එසේම එසේම වී
එච්චර කලකි

.............................මට සිහි විය.



Wednesday, February 19, 2014

සොවින් සැඟවුණු මිහිරි පද රැස - උරුම කවි සිත් සනස ගන්නට



තෙදැති හිරුවත ගුවන නැගෙනුයේ
ලොවට එළියක් වන්න පමණද
නැගෙන හිරු හෝ බැසෙන හිරු දෙස
බලන නෙත් සිත් සනහලන්නට

දිලෙන සොමිසඳ ගුවන නැගෙනුයේ
රැයට සිසිලක් වන්න පමණද
හිරුට නොම වන සඳට ඇති රස
සොයන පෙම් සිත් පුබුදුවන්නට

සුවඳ දෙන මල් ගසක පිපිනුයේ
නෙතට මිහිරක් වන්න පමණද
රසැති රොන් පිරි එවන් මල් දෙස
ඇදෙන බිඟු සිත් මත් කරන්නට

ලියන පද වැල් සිතට පැමිණියේ
ඔබට රසයක් වන්න පමණද
සොවින් සැඟවුණු මිහිරි පද රැස
උරුම කවි සිත් සනස ගන්නට

Saturday, February 8, 2014


මල්
බඹරුන් දනිති
රොන් බී වයන්නට
මිනිසුන් දනිති
පුදසුන මත පුදන්නට
එනමුත් මල්
දන්නා දෙයක් නැත
පිපෙන්නට
පරවෙන්නට මිස