මෙම ලිපිය ලිවීමටත් ඒ සඳහා වන අදහස් ඇති වීමටත් වස්තු බීජය වූයේ දැනට වසර එකහමාරකට උඩදී මා කියුවූ ගැහැණු ලොව හා පිරිමි ලොව(කතෘ මතක නැත.කෙසේවෙතත් ඔහු මනෝ වෛද්‍යවරයෙකි) නම් පොතයි. ගැහැනිය සහ පිරිමියා වාස්තවික අයුරකින් තේරුම් ගැනීමට පුලුවන් යැයි කවුරුන් හෝ සිතනවා නම් එය මුළාවකි. මක්නිසාදයත් ගැහැණු සහ පිරිමි අතර පමණක් නොව ගැහැණු ගැහැණු අතරද පිරිමි පිරිමි අතරද ඇත්තේ සමානකම් වලට වඩා වෙනස්කම් රාශියකි.එවන් තත්ත්වයක් උඩ ගැහැණිය සහ පිරිමියා යන්නට නිරපේක්ෂක වූ අර්ථකතන ඇතැයි සිතීම උගහටය. නමුත් සියුම්ව නිරීක්ෂණය කරන්නෙකුට ගැහැණිය මෙන්න මේ වගේය පිරිමියා මෙන්න මේ වගේය ලෙස ඔවුනොවුනට ආවේණික වූ ලක්ෂණ ,හැඩතල හඳුනාගැනීම එතරම් අපහසු නැත.
ඉහත පොතෙන් ගැහැණිය සහ පිරිමියා අතර ඇති මූලික වෙනස්කම ලෙස දක්වා තිබුණු දේ ඉතා වැදගත් යැයි සිතමි. ගැහැණිය ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ හැඟීම් සහ දැනීම් සමඟ බවත් පිරිමියා ජීවත් වන්නේ ප්‍රශ්න සහ විසඳුම් සමඟ බවත් එහි සඳහන් විය.ගැහැණිය නිතර තමාගේ හැඟීම් සහ දැනීම් තවත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට කැමතිය. ඇය මානව සම්බන්ධතා අගයයි. මේ නිසාම ඇය නිතරම කතාකරයි.ඇයට නිතරම කතා කිරීමට අවශ්‍යය. එසේ කිරීමෙන් ඇය තමාට දැනෙන මානසික පීඩාවන් වුවද සමනය කරගනියි. නමුත් පිරිමියා මෙයට හාත්පසින්ම වෙනස්ය. ඔහු නිතරම සටන් කරන්නේ ප්‍රශ්න සමඟය. ඔහු නිතරම ඒවාට විසඳුම් සොයා යයි. ඔහු සතුටු වන්නේ විසඳුම සොයා ගැනීමෙනි. විසඳුම් සොයාගැනීම අරමුණ වන නිසාම ඔහු නිතරම කල්පනා කරයි.ඒනිසා ඔහුට තනිව සිටීමට අවශ්‍යය.එසේ තනි වීමෙන් ඔහු ඔහුගේ මානසික පීඩාවන් සමනය කරගනු ලබයි. ගැහැනියටද ප්‍රශ්න ඇතත් ඇය ඒවා පිළිබඳ වද නොවේ. ඇය ඒවාට විසඳුම් සෙවීමේ දැඩි ඇල්මකින් පසු නොවෙයි. ඇය ප්‍රශ්නයක් ඇතිවිට වෙනත් කෙනෙක් සමඟ කතා කරයි නමුත් විසඳුම් බලාපොරොත්තු නොවේ. පිරිමියාටද හැඟීම්,දැනීම් නැතුවා නොවේ.නමුත් ඔහු ඒවා පිළිබඳ වද නොවේ.ඔහුට ඒවා පිළිබඳ දැඩි ඇල්මක් නැත. ඔහුට හැඟිමක් දැනීමක් ඇතිවිට ඔහු නිහඬව සිට එය විඳ දරාගනියි.මෙය ගැහැණිය හා පිරිමියා අතර දැකිය හැකි ඉතා ප්‍රබල වෙනස්කමකි.මෙම වෙනස්කම විවහා ජීවිතයට බලපාන අයුරුද එම පොතේ මැනවින් විග්‍රහ කර ඇතත් මෙම ලිපියෙන් ඒ පිළිබඳ කතා කිරීමට උත්සහ නොදරයි.
සොබාදහම විසින් ඇතිකරන ලද මෙම වෙනස මානව සමාජයේ පැවැත්ම උදෙසා රුකුලක් වන බවට සැකයක් නැත.ඔවුන් දෙදෙනා කෙතරම් වෙනස් වුවද මිනිස් පැවැත්මට එය උපයෝගී වන්නේ කෙසේදැයි තේරුම් ගැනීම, ඔවුනොවුන්ගේ වෙනස්කම් වලට ගරුකිරීමට හොඳ අඩිතාලමක් වනවා ඇත. ගැහැණිය හැඟීම් දැනීම් සමඟ ජීවත් වන නිසාම ඇයට අන් අයගේ හැඟීම් දැනීම්ද පිරිමියෙකුට වඩා පහසුවෙන් තේරුම් ගත හැක.සමහරවිට පවුලක දරුවන් වැඩිපුර මවගේ ආදරය,සෙනෙහස පතන්නේ ඒ නිසා විය හැක.(පියෙකුට ආදරය,සෙනෙහස නැතැයි මින් නොකියවේ)සමාජයේ වැඩිපුර පිය ගුණ ගීත වලට වඩා මව් ගුණ ගීත ලියැවෙන්නේත් ගැහැනියගේ කැපී වෙනෙන මෙම ලක්ෂණය නිසා විය හැක.එලෙසම ප්‍රශ්න සහ විසඳුම් සමඟ ජීවත් වන පිරිමියා හරහා සමාජයට අවශ්‍යවන දැනුම නිර්මාණය වේ. ඔහු විවිධාකාර අත්දැකීම් හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සහා කරයි. ප්‍රශ්න සහ විසඳුම් විවර කරන්නේ නව දැනුමක්ය. රැකියාවක් කිරීමට වුවද යම් දැනීමක් තිබිය යුතුය. එම දැනීම ඔහු ලබන්නේ අත්දැකීම් හරහාය.අත්දැකීම් මඟින් දැනුම, දැනුම මඟින් රැකියාව නැවතත් රැකියාව මඟින් අත්දැකීම් ලෙස මෙය චක්‍රීයව සිදුවේ. පිරිමියා සිය පවුලටත් වඩා සිය රැකියාවට ඇලුම් කරන්නේ යැයි මතයක්ද තිබෙන්නේ පිරිමියා පවුලක බෙදා ගතයුතු හැඟීම්, දැනීම් වලටත් වඩා ප්‍රශ්න සහ විසඳුම් වලට කාලය කැප කරන නිසාද?.
ගල් යුගයේ සිටි පිරිමියා ජීවන අරගලය වෙනුවෙන් තොරාගන්නේ දඩයමය.ඒ නිසා ඔහු නිතර ගවේෂණයේ යෙදේ.ඔහුට එකතැන සිටීමට නොහැක.එකතැන සිටීම ඔහුගේ මෙන්ම පවුලේද පැවැත්මට හානිකරය. එය ඔහුට ප්‍රශ්නයකි. ඒ වෙනුවෙන් ඔහු එයට විසඳුමක් සෙව්වේය. විසඳුම දඩයමයි. ගැහැණිය ගල්ගුහාවට වී දරුවන් බලාගෙන සිටියහ. ඔවුන්ගේ පෝෂණය වෙනුවෙන් කැපවූහ. ඔවුන්ගේ හැඟීම් සහ දැනීම්ද ඇයගේ හැඟිම් සහ දැනීම්ද බෙදාගැනීමට ඇයට අවශ්‍යය. එබැවින් ඇයට නතර වීමට අවශ්‍යය. ඇය ගවේෂණයේ යෙදුනහොත් ඇයට අවශ්‍ය දේ සිදු නොවේ.එබැවින් ඇය ගල්ගුහාවේ විසිණි. ගැහැණිය හැඟීම්,දැනීම් සමඟ ජීවත් වීමත් පිරිමියා ප්‍රශ්න හා විසඳුම් සමඟ ජීවත් වීමත් යන ලක්ෂණයත් සමඟ එකට එන ලක්ෂණයකි ගැහැණිය යම්තැනක නතර වීමත්,පිරිමියා කොහේ හෝ ගමන් කිරීමත්. මෙය අදටත් දැකිය හැක. ගැහැණිය සහජයෙන්ම පිරිමියාට සාපේක්ෂව සන්සුන්ය,තැන්පත්ය. නමුත් පිරිමියා සාපේක්ෂව එසේ නැත. අපි දඩබ්බර කොල්ලෝ ගැන කතා කරන්නේ ඒ නිසා විය හැක. කොල්ලෝ රස්තියාදු ගහන්නේත් ඒ නිසා දැයි නොදනිමි. කෙසේවෙතත් මෙය තවත් එක් ප්‍රබල ලක්ෂණයකි.එනම් ගැහැණියගේ එක තැන සිටිමේ ස්වභාවයත් පිරිමියාගේ එක තැන නොසිටිමේ ස්වභාවයත්ය.