Friday, October 10, 2014

මේ ලොවට ඔබ ආදරේ නම් -මුලු ලොවම ඔබටත් ආදරෙයි (ගීතයක කතාවක්)

සමාජයක් හැමවිටම කළුයි කියා හිතනවා නම් එය වැරදිය,එසේම එය හැමවිටම සුදුයි කියා හිතනවා නම් එයද වැරදිය.මෙහිදී කළු හා සුදු යන්න හොඳ හා නරක යන්න හැඟවීමට භාවිතා කළද එය එතරම් සුදුසු නොවේ යැයි වෙලාවකට සිතේ.කෙසේ වෙතත් සමාජය ඉතාම නරක තැනක්ය එයට නිරාවරණය නොවිය යුතුය කියා සිතන කෙනෙකුට විශේෂයෙන් දූවරුන්ට, එසේ නොවී සමාජයේ ඇති හොඳ දේ දකින්නට යහපත් දේ ලබාගන්නට කියා පියෙක් විසින් ඇරයුම් කරන ගීතයකි රත්න ශ්‍රී විසින් ලියන ලද මෙම ගීතය.



මගේ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබටමයි

ඇය විසින්ම කොටු වී සිටින කුටුම්භයෙන් එළියට ඇවිදින් මේ සමාජය නම් රැයෙහි මිහිරිම දේවල් විඳගන්නට ඇයට හැකි බව ගීතයේ මුල් කොටසින් කියවේ.නමුත් එක් කොන්දේසියක් මත-එනම් ඇය නිසි සිහි බුද්ධියෙන් සිටිනවා නම් (ඔබ අවදියෙන් නම්).

සේපාලිකා මල් පිපෙන්නේ රාත්‍රියටය. නිලට බැබළෙන තාරකා ඇත්තේද රාත්‍රියෙහිය.රාත්‍රිය කෙතරම් කළුවර වුවද සේපාලිකා මල් පිපෙන විට නිල් තාරකාවන් පායන කළ එය සුන්දර මොහොතකි.සමාජයද එසේය,එය කුරිරු විය හැක,නමුත් එහිද වඩාත් සුන්දර දේවල් තිබෙනවා නොඅනුමානය.නමුත් ඇය කුටුම්භයට වී කොටු වී සිටියහොත් ඇයට මේ කිසිවක් දැක ගත නොහැකිවනු ඇත.ඇය අවදියෙන් සමාජයට අවතීර්ණ වන කළ මේ ලොව එතරම් දරුණු නොවන බව ඇය තේරුම් ගන්නවා ඇත.එවිට එය සිහි වී ඇයට තනියම සිනා යෑමටද ඉඩ තිබේ-මක් නිසාදයත් තමන් මෙතුවක් කල් මුණ නොගැසුණේ හිතන තරම් කළු නොවන යකෙකු බව අවබෝධ වී.

සේපාලික මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

සොබාදහමේම කොටසක් වන මිනිසා එවන් සොබදහමේම සම්පත් භුක්ති විඳීම වරදක් නොවේ.එය සොබාදහම විසින්ම අපට උරුම කර දුන් දෙයකි.නමුත් එසේ නොවී ලෝකයෙන් සමාජයෙන් මුළු ගැන්වී සිටියහොත්-එනම් ඝන කළුවරට පෙම් කළොත්, පෙර කී සොබාදහමේ දායදයන් වල ඵලය කිම?අප ඒවාට ණය නොවේද?මිනිසුන් වශයෙන් අප ලෝකය තුළ ඉපිද ලෝකය තුළ හැදී වැඩී ලෝකය තුළම නැසෙන නිසා ලෝකයත් සමඟ අවබෝධයෙන් ජීවත් වීම ඉතා වැදගත්ය.මේ පොළව තුළ පය ගසා ජීවත් විය යුතුය. මිනිසුන් ඇසුරු කළ යුතුය,සමාජශීලි විය යුතුය.එනම් ජීවත් වීමට උගත යුතුය. එලෙසම එක දෙයක් අමතක නොකළ යුතුය.එනම් ලෝකය විසින් අපට දායද කර දුන් කිසිවක් අපගේ නොවන බවත් හුදෙක් අප ඒවා භුක්ති විඳ නැවත අප එය ලොවට බාර කළ යුතු බවත් ඇය දැන ගත යුතුය.මේ අන් කිසිවක් නොව,ලෝකයෙහි සමාජයෙහි පය ගසා ජීවත් වන විට අප විසින්ම ඇති කර ගත යුතු මානව දයාවයි. පරාර්ථයයි.ඔබ එසේ වන කළ ලෝකයද එසේ වනු ඇත.


ඝන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට අප ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපට 
හෙට ලොවට පෙරළා දිය යුතුයි
මේ ලොවට ඔබ ආදරේ නම් 
මුලු ලොවම ඔබටත් ආදරෙයි

සිංදුව අහන්න: